Jun 27, 2013

මාරි ඇන්ටනට් බිසවට මරණය කැන්දූ ප්‍රංශයේ ‘පාන් උන්මාදය’

4-1
අප්‍රේල් මාසයේ උදෑසන පැරිසියේ පාන් හා බේකරි නිෂ්පාදන අලෙවි සලක දොර විවෘත කොට ගනිමින් ඇතුළට පැමිණෙනුයේ කළු පැහැ වැහි කබායකින් හා ‘ප්‍රින්ස්ටන්’ බේස්බෝල් කැප් තොප්පියකින් සැරසුණු පැසුණු හිසින් යුතුවූ, හැට හැවිරිදි වියේ පසුවන බුද්ධිමත් පෙනුමින් යුතු පාරිභෝගිකයෙකි. ප්‍රංශයටම ආවේණික වූ පැලුම් රේඛාවලින් යුතුව දිගු සිහින් පාන් ගෙඩි කීපයක්ම සිය දෑතෙහි දරාගෙන සිටින ඔහු අලෙවි සල් විකිණුම් සහයිකාවගෙන්ද මිලයට ගැනීමට ඉල්ලා සිටිනුයේ එවැනිම පාන් ගෙඩියකි. ඇගේ ප්‍රශ්නාර්ථය මුසු බැල්ම තමන්ට ආගන්තුක වූ දෙයක් නොවන බවට වන පෙනුමක් ආරූඪ කරගනිමින් අලෙවි සලෙන් පිටතට පිළිපන් මහාචාර්ය ස්ටීවන් එල්. කප්ලන් සිය පාන් සංචාරයෙන් විනාඩි දහයක් 4-2ගෙවුණු තැන සිටින්නේ ‍පොත් රාක්ක හා විවිධාකාර පාන් වර්ග දැක්වෙන චිත්‍ර හා ‍පෝස්ටර්වලින් බිත්ති වැසී ගිය සිය නිවසේ විසිත්ත කාමරයේය.
කාමරයේ මැද වන මේස රෙද්දක් එලූ ඕවලාකාර මේසය මත වූ පාන් ලෑල්ලක් මත තැන්පත් වූ එක් පාන් ගෙඩියක් එකත්පස්ව බලා හිඳිනුයේ නිව්යෝර්ක් නුවර පිහිටි කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ යුරෝපීය ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වන කප්ලන් විසින් තමාගේ පැටිකිරිය උදාහරණ සහිතව දිග හරින තුරුය. 

පාන් ගෙඩියට අමතරව මේසය මත වනුයේ ඔහු විශේෂවේදීත්වය උසුලන විෂය පථය වන පාන් පිළිබඳව ඔහුගේ සිසුවකු විසින් උපාධිය සඳහා ඉදිරිපත් කළ පිටු අටසියයකින් යුත් නිබන්ධයයි. පැත්තක වන බිත්තියක සම්පූර්ණ ඉඩකඩ අයත් කොටගෙන සිටින්නේ පාන් පිළිබඳව මහාචාර්ය කප්ලන් විසින් සම්පාදනය කළ කෘති අතුරින් එකක් වන ‘ප්‍රංශය හා එහි පාන් උන්මාදයක ඉතිහාසය’ යන්නෙහි කවරය සඳහා දෑතින්ම ඔසවා ගත් ප්‍රංශ පාන් තොගයක්ද සහිතව කැමරාවට සිනාසෙන මහාචාර්යවරයාගේ රුව රැගත් ‍පෝස්ටරයකි. ප්‍රංශ පාන් පිළිබඳව දීර්ඝ එමෙන්ම ගවේෂණාත්මක විස්තරයකට ඔහු මුල පුරන්නේ හොඳින් පුළුස්සන ලද පාන් ගෙඩියක් හඳුනා ගන්නා ආකාරය විස්තර කරමිනි. මහාචාර්ය කප්ලන්ට අනුව එවැන්නකට තට්ටු කළ විට බෙරයකින් නැගෙන්නාක් බඳු රැව්දෙන හඬක් පාන් ගෙඩියෙන් නිකුත් විය යුතුය. පර්යේෂණය සඳහා එතෙක් වේලා මේසය මත සූදානමින් තිබු පාන් ගෙඩිය සිය කන සමීපයට ගෙන ඊට වැරෙන් තට්ටු කරන කප්ලන්ගේ මුහුණ අඳුරු වලාවකින් වැසී යනුයේ එය ඔහු අපේක්ෂා කළ තත්ත්වයෙන් එනම් ප්‍රංශ ප්‍රමිතියට තැනුවක් නොවන නිසාය. 

ප්‍රංශ පාන් පිළිබඳව සිය උන්මාදය ඇරඹි අතීතය වෙත සිය මතකය විහිදුවමින් මීට වසර පනහකට එපිටදී පැරිසියේ සංචාරයක නිරත වූ සිසුවෙකුව සිටි සමයේදී ලක්ෂම්බර්ග් උද්‍යානයේ බංකුවක වාඩි වී සිය පළමු ප්‍රංශ පාන් ගෙඩිය රසවිඳි ආකාරය සිහිපත් කරන කප්ලන් පවසන්නේ එදා තමා පළමු වරට අත්විඳි සිත මන්මත් කරවන ඒ රසය කිසිදා අමතක නොවන බවයි. අද වන විට ඇමරිකානු ජාතික මහාචාර්ය කප්ලන් යනු ප්‍රංශ පාන් පිළිබඳව ලොව සිටින අංක එකේ  විශේෂඥයකු පමණක් නොව පාන් ප්‍රමිතිය තහවුරු කිරීමේ ලා වන දැවැන්ත මෙහෙයුමක නිරතව සිටින්නෙකි.

ප්‍රංශ සංස්කෘතිය තුළ පාන්වලට හිමිව ඇති සුවිශේෂී ස්ථානය කොතරම්ද දේශපාලනමය, සමාජීය හා ආගමික වශයෙන් පාන් සතු වැදගත්කම හුවා දැක්වීමෙහිලා කප්ලන් විසින් සිදුකළ සේවය ප්‍රංශ රජය විසින් දෙවරක්ම ඇගයීමටද ලක්කොට තිබෙන්නේද ඔහු විදේශිකයකු යන්න පවා නොතකා හරිමිනි. (ප්‍රංශ ජාතිකයින් දේශීයත්වයට මුල් තැන දෙන්නන් ලෙස ප්‍රකටය) වරෙක සිය බිරිය වූ ‘මාරි ක්‍රිස්ටීන්’ සමග ‘පාන් සොයා ගියෙමි’ යන කෘතිය (ඛිඩඥපජඩඥල තඥ චඪද) වෙනුවෙන් පැරීසියේ හොඳම පාන් අලෙවි කරනු ලබන බේකරි හල් සොයා ගිය මහාචාර්යවරයාට මාස හයක කාලය තුළදී දිනකට පැය පහක් බැගින් පාන් රස බැලීමට සඳහාම වැය කරන ලද්දේ ඒ හේතුවෙන් සිය බිරියගේ ශරීර බරද කිලෝ ග්‍රෑම් හතකින් ඉහළ නංවමිනි. ඒ ඇය රස බැලූ පාන් කැබලි සියල්ලම ගිල දැමීමට තරම් ගිජු වූ නිසා බව පවසන කප්ලන් පාන් ආහාරයට නොගෙන රස බැලීමෙන් පමණක් සෑහීමට පත්වීමට වගබලාගෙන තිබුණි. එම සංචාරයේදී පමණක් ඔවුන් දෙපළ විසින් ආවරණය කරනු ලැබූ බේකරි සංඛ්‍යාව හයසියයකි. දිගු වටකුරු ප්‍රංශ පාන්වලටම ආවේණික වූ ඇල පැලුම් රේඛා දක්වමින් කප්ලන් කියා සිටින්නේ ඒවා බැලූ බැල්මට පාන් ගෙඩියේ පෙනුම හැඩ කිරීමට යොදා ගත්තක් ලෙස පෙනී ගියද සැබවින්ම ඒවා පාන් පිළිස්සීමේදී ඒවායේ ඇතුළත වාතය තදබද වීමෙන් පාන් ගෙඩිය පැලී යාම වැළැක්වීමට යොදා ගන්නා උපක්‍රමයක් බවයි. පාන් ගෙඩියේ ප්‍රමිතිය පිළිබඳව ගුණ දොස් දැක්වීම සඳහා ශබ්දය, රස, සුවඳ හා ස්පර්ශය යන සිව් සංවේදතාවන් යොදා ගන්නා කප්ලන් මීළඟට පාන් ගෙඩිය හරි මැදින් පලා ඒ තුළට සිය නාස් පුඩු ඇතුළු කරනුයේ සාමාන්‍යයෙන් නියම ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රංශ පාන් ගෙඩියකට ආවේණික වූ බ්ලැක්චෙරි, ලෙමන්, හතු, වැල්මී සාරය වැනි ප්‍රණීත සුවඳවල මිශ්‍රණයක් ඉන් නිකුත් වේදැයි බැලීම සඳහාය. ඒ හරියටම මිදි යුෂ බඳුනකින් වහනය වන සුවඳ ආඝ්‍රාණය කිරීම සඳහා මධුවිත බඳුන රිද්මයානුකූලව කවාකාරව සොලවන්නාක් මෙන්ය. කෙසේ වුවද මෙවර ඔහුගේ පරීක්ෂාවට බඳුන් වූ පාන් ගෙඩිය කිසිසේම ප්‍රමිතියට අනුකූලව සකස් නොකළ ඊටම ආවේණික වූ ගති ලක්ෂණවලින්ද තොරවූ ‘කමකට නැති’ නිෂ්පාදනයකි.
කප්ලන්ගේ නීර්ණයන්ට අනුව ප්‍රංශ පාන් ගෙඩියක් (ඕචඨභඥබබඥ) සතුවිය යුතු ගති ලක්ෂණ රාශියකි. එහි ඇතුළත ඇම්බර පැහැයට හුරු ක්‍රීම් පැහැයකින් යුතු විය යුතු සේම ඒ තුළ වන කුහරයන්ද මී වදයක මෙන් ඒකාකාරී රටාවකට නොව ප්‍රමාණයෙන් අසමාන ලෙස පිහිටීමෙන් කියා පාන්නේ පිටි මෝලිය ඇනීම හා පිපීම නියමාකාරයෙන් සිදු වූ බවයි. එමෙන්ම පාන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ හසල නිපුණයකු වන කප්ලන්ගේම මිණුම් දඬුවලට 4-3අනුකූලව නියම ප්‍රංශ පාන් කැබැල්ලක් සපන විට දැනෙන මිහිරි ආශ්වාදය අමතකව ගිය අතීත මතකයක මිහිරියාව යළි සිහිපත් කළ යුතු බව ඔහු තරයේ අදහන්නකි. එතෙක් වේලා පරීක්ෂාවට බඳුන් කරනු ලැබූ පාන් ගෙඩිය ඉවත දැමූ ඔහු යළිත් වීදියට පිළිපන්නේ ‘ඔහු විසින්ම හඳුන්වනු ලබන ආකාරයට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රංශ පාන් ලෙස සැකයකින් තොරව හැඳින්විය හැකි පාන් මිලදී ගත හැකි පාන් දෙවොල වෙත පිය නැගීමටය. ‘ඇ‍ලේෂියාමෙට්රෝ දුම්රිය ස්ථානය අසල ඩොමිනික් සයිබ්‍රොන් ලෙස එල්ලූ නාම පුවරුවකට යටින් වන දොරටුවෙන් කප්ලන් ඇතුළු වනුයේ අලුත පිළිස්සුණු නැවුම් පාන්වල ප්‍රණීත සුවඳ හමන බේකරි අලෙවි සලකටය. එක් දිගු බිත්තියක් වටා පැතිර ගත් පයින් දැවයෙන් කළ රාක්කයක තට්ටු පිරී යන සේ ඇසිරී ඇත්තේ දිගු දිගටි හැඩ ගත් පාන්, රවුම් පැතලි හැඩයේ පාන් යනාදී විවිධ හැඩ ගත් පාන්වලිනි.
 
කලක සිට දන්නා හඳුනන බව කියා පාන සුහදශීලී සිනහවකින් මුව සරසාගත් බේකරි අලෙවිසල් හිමියා වන ‘ඩොමිනික් සයිබ්‍රොන්’ විසින් කප්ලන්ව පිළිගනු ලබන්නේ මෙම හමුව අනපේක්ෂිත නොවූවක් බව කාටත් පැහැදිලි වන අයුරිනි. සිය නම මසන ලද ඒප්‍රනයකින් සැරසී පිටි තැවරුණු දෑත් හා පාවහන් සහිතව සිය කාර්යබහුල අලෙවි ස‍ලේ කඩිසර ලෙස සේවයේ නියැළෙන සයිබ්‍රොන් කලෙකදී බේකරි කෑම පිළිබඳ සූපවේදියකු ලෙස අන්‍යයන්ගේ අවන්හල්වල සේවයේ යෙදුණද ඒවායේ භාවිතා කෙරුනු පාන්වල අඩු ප්‍රමිතිය පිළිබඳව හටගත් කලකිරීම නිසාවෙන් තමාගේම පාන්  නිෂ්පාදන හලක් ඇරඹීමට පෙළඹුණෙකි. පාන්  නිෂ්පාදනයෙහිලා ඔහු දක්වන නිපුණතාව කෙතරම්ද යන්න දිනකට ඔහුගෙන් පාන් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් දෙදහස ඉක්මවූ පිරිසක් පැමිණීමෙන්ම පහසුවෙන්ම වටහා ගැනීමට හැකි වනවා ඇත. සයිබ්‍රොන් විසින් පුළුස්සන ලද ප්‍රංශ පාන් ගෙඩියකින් කැබැල්ලක් සමෛන් කල්පනාකාරී ලෙස සපන මහාචාර්ය කප්ලන්ගේ දෙනෙත් කාන්තියෙන් බැබලීමට පටන් ගන්නේත් මුහුණේ ජයග්‍රාහී සිනහවක් දිස් වන්නේත් අවසානයේදී සැබෑම ප්‍රංශ පාන් ගෙඩියක රස මිහිර සයිබ්‍රොන්ගේ පාන් දෙවො‍ලේදී විඳ ගැනීමට ලැබිමේ ප්‍රීතිය නිසාය. එම පාන් කැබැල්ලෙන් මතුවන එකිනෙකට වෙනස් වූ වැල්මී හා බ්ලැක්චෙරි, බතල, වියළි ඇප්‍රිකට් වැනි විවිධ රසයන් හඳුනා ගැනීමටද තරම් කප්ලන්ගේ රස ග්‍රන්ථීන් දියුණුය. ඒකාකාරී අමිහිරි රසයෙන් යුතු
සෙසු පාන් අතර සුවිශේෂී අනන්‍යතාවයකින් යුතු ඉහළ ප්‍රමිතියේ පාන් නිෂ්පාදනය කිරීමේ රහස හෙළි කරමින් සයිබ්‍රොන් කියනුයේ ඇණවුමට අනුව පිටි තෝරා ගැනීම සඳහා තිරිඟු යායක් පරීක්ෂා කිරීමට යාමේ සිට
නිෂ්පාදන ක්‍රියාවලියේ සියලුම පියවර තමාගේ පිළිගත් සම්මතයන්ට අනුව සිදුකරන බවයි. පිටි සඳහා හොඳම තිරිඟු අස්වැන්න තෝරා ගැනීමට පෙර පාන් සාම්පල තොග කීපයක් සකස් කිරීමට මෙන්ම සෑම වසරකදීම මෙම තෝරා ගැනීම පටිපාටිය ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමටද සැලකිලිමත් වන සයිබ්‍රෝන් කිසි විටෙක සිය නිෂ්පාදන සඳහා ආහාර රසකාරක හෝ වෙනත් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ආදිය එකතු නොකිරීමට පරෙස්සම් වන්නේය. පිටි ගබඩා කෙරෙනුයේද පළිබෝධයන් පලවා හැරීම සඳහා ස්වභාවික ක්‍රමවේදයන් කෙරෙහි පමණක් විශ්වාසය තබමින් වන අතර සිය පාන්වල රසය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙසද සයිබ්‍රෝන් පිළිගනුයේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර වීමයි. කොටින්ම ප්‍රංශ නීතියට අනුව ‘ඤඥ බපචඤඪබඪධද’  යන වර්ගීකරණය යටතේ එන පාන් නිෂ්පාදන සඳහා කිසිදු රසායනිකයක් එක් කිරීමටද තහනම්ය.
 
පැය පහමාරක කාලයක් පුරා සිදුකරන ලද පිටි ඇනීමෙන් පසුව පිටි පිපීම සඳහා අවස්ථා දෙකකදී කාලය ලබාදෙන අතර පිපුම්කාරක මිශ්‍රණය සාදා ගනුයේද සයිබ්‍රොන්ගේම වට්ටෝරුවකිනි. ඊට පැණි කුරුඳු, ඉඟුරු, වැනිලා හා සාදික්කා වැනි කුළු බඩුද අඩංගුය. ඊස්ට් හා උතුරු දිග ප්‍රංශයෙන් විශේෂයෙන් ගෙන්වන ලද ලුණුද පාන් මිශ්‍රණයට එකතු වුවද ඒ සෙසු බේකරිකරුවන්ගේ පාන් නිෂ්පාදනවලට සාපේක්ෂව ඉතාම අවම ප්‍රමාණයකිනි. මෙයාකාරයේ සංකීර්ණ ක්‍රියාවලියකින් පසුව බිහිවන සයිබ්‍රෝන්ගේ සම්ප්‍රදායික පාන් ගෙඩියක රස පිළිබඳ නැවත අමුතුවෙන් කිව යුතු නොවේ. 
 
වාර්ෂිකව පැරීසිය විසින් සංවිධානය කරනු ලබන පැරිස් නුවර හොඳම ප්‍රංශ පාන් නිෂ්පාදකයා තේරීමේ තරගයෙන් 2010 වසරේදී තෙවන ස්ථානය හිමිකර ගත් සයිබ්‍රොන් ජපානයේදී පාන් අලෙවිසල් පහළොවකද සාඩම්බර හිමිකරුවෙකි. මෙවර හොඳම පාන් නිෂ්පාදකයා තේරීමේ තරගයට සයිබ්‍රොන් සහභාගි නොවූ අතර එහිදී පළමු ස්ථානය හිමි කරගත් ‘සෙබස්තියන් මවුවික්ස්’ හට ඇ. ඩොලර් පන්දහස් තුන්සියයක ත්‍යාග මුදලකට අමතරව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක් පුරා පාන් සැපයීමේ විරල ගෞරවයද හිමිවිය. එකක් යුරෝ 1.05ක් බැගින් වූ අවම මිලක් යටතේ අලෙවි කෙරෙන ජනපතිවරයකුට පවා සුදුසු මවුවික්ස් පාන් ඒ නිසාම ඕනෑම තරාතිරමක ප්‍රංශ වැසියකුට රස විඳීමේ බාධාවක්ද නොවේ. පාන් යනු ප්‍රංශ වැසියන්ට එතරම් වැදගත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයකි.
 
සයිබ්‍රොන් පවසන ආකාරයට පාන්වලින් තොර ප්‍රංශ ආහාර වේලක් පිළිබඳව සිතා ගැනීමට හෝ නොහැකිය. ප්‍රංශ වැසියන්ගේ ජීවිතය හා නොබිඳිය හැකි බැඳීමකින් යුතුව බැඳී සිටින පාන් ප්‍රංශ වැසියන් විසින් හඳුනාගනු ලබන්නේ ඔවුන් කිරි දරුවන්ව සිටින කාලයේ පටන්ය. මන්ද බිලිඳුන්ට පාන් රස විඳීමට දෙන ලෙසට පැරිසියේ ළමා වෛද්‍ය
විශේෂඥයින් අනුමත කරන බැවිනි. ප්‍රංශය හා පාන් අතර ඇති සබඳතාව අද ඊයේ ඇරඹුනක් ද නොව දිගු ඉතිහාසයකට හිමිකම් කියන්නකි. ක්‍රි.ව. 1789 දී ප්‍රංශ බැස්ටිලයද ආක්‍රමණය කරමින් මාරි ඇන්ටනට් බිසව හා 16 වන ලුවී රජුව කැරලිකරුවන් විසින් ගිලටීනයට කැප කරන ලද්දේද පාන් මිල ඉහළ නැංවීම නිසාවෙනි. තුන්වන පාන්තිකයන්ගේ දරිද්‍රතාවය පිළිබඳ අවබෝධයකින් තොරවූ සුකොමල ඇන්ටනට් බිසවට මරුවා සමග යන්නට සිදු වූයේද පාන් නැත්තම් කේක් කන්නැයි කීමට තරම් ඇයට පාන් හා කේක් අතර වෙනසක් නොදැනුණු නිසාය. අදටද ප්‍රංශ වැසියන් හා පාන් අතර ඇති සබැඳියාවේ වෙනසක් සිදුව නැත. ස්වභාවයෙන්ම ඉවසීම නොහඳුනන ප්‍රංශ ජාතිකයින් පාන් මිලදී ගැනීම සඳහා ඔවුන්ට ආගන්තුක වූ ඉවසීමක් ප්‍රකට කරමින් දිනපතා බේකරිහල් අසල දැකිය හැකි දිගු ‍පෝලිම්වල රැඳී සිටින්නේ ඒ නිසාය.

රුක්ලන්ති පෙරේරා

0 comments:

Post a Comment