Jun 3, 2013

ජාතික ගැටලුවලට මැදිහත්වීමට භික්ෂුන්ට ඇති මග පෙන්වීම හා උරුමය.


සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සමකාලින භාරතයේ කෝසල මහා රාජ්‍යයට අයත් වූ සමුහාණ්ඩු පාලන තන්ත්‍රයක් පැවති කපිලවස්තුවෙහි වැසියෙකි. එසේම උන්වහන්සේ ගෝත්‍රයෙන් ආදිච්ච නම් වූ අතර ජාතියෙන් සාක්‍ය වන්සිකයෙක් ද වූ බව බුදුහු ම සුත්ත නිපාතයෙහි දක්වති. 

"උජුං ජනපදෝ රාජා හිමවන්තස්ස පස්සතෝ
ධනවිරියෙන සම්පන්නෝ කෝසලෙසු නිකෙතිනෝ.
ආදිච්චා නාම ගොත්තෙන සාකියා නාම ජාතියා
තම්හා කුලා පබ්බජිතොම්හි රාජ න කෑමේ අභිපත්තයන්"
  (සුත්තනිපාතය, පබ්බජ්ජා සුත්‍රය, 123 පිට, ත්‍රි.බු.මු.)

මෙම ආදිච්ච නම් ගෝත්‍රයට භාවිත තවත් නමක් වනුයේ ගොතම යන්නයි. බුදුරදුන්ගේ නාමය වනුයේ සිද්ධාර්ථ ගෞතම යන්නයි. භාරතය මුළුල්ලෙහි උන්වහන්සේ ජනප්‍රිය වන්නේ ගෞතම නම් වූ ඒ ගෝත්‍ර නාමයෙනි.


බුදුරජාණන් වහන්සේ සාක්‍ය ජාතිකයකු ලෙස සිය ජාතියට ආදරය කළසේක. එසේම උන්වහන්සේ සිය ජාතිය පිලිබඳ අභිමානයකින්ද පසු වූ බව පෙළ සාහිත්‍ය ප්‍රකට කරයි. බුදු සසුනේ පැවිදි වූවෝ සාක්යයෝම පමණක් නොවෙති. නානා ජනපදවලින් පැමිණි නොයෙක් ගෝත්‍රයන්ට, ජාතීන්ට, කුලයන්ට අයත් වූවෝ සම්බුදු සසුනෙහි පිහිට ලදහ. එය එසේ වුවත් සුත්‍ර පිටකයෙහි මෙන්ම විනය පිටකයෙහි ඇතැම් තැනෙක ද


 '' ඒවමේව ඛෝ භික්ඛවේ චත්තරොමේ වණ්ණා ඛත්තියා, බ්‍රාහ්මණා, වෙස්සා, සුද්දා, තේ තථාගතප්පවෙදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියන් පබ්බජිතා ජහන්ති පුරිමානි නාමගොත්තානි, සක්‍යපුත්තියාත්වෙව සංඛන් ගච්චන්ති.'' සතර දෙසින් පැමිණ සතර කුලයට ම අයත් වූවෝ සසුන් කෙතට වන් කල්හි ''සාක්‍යපුත්‍රීය ශ්‍රමණ'' නම් වන බව දේශනා කරති. 
 (චුල්ලවග්ගපාලී 2,පාතිමොක්ඛටපනක්ඛන්ධකය, 432 පිට)  

එමගින් පැහැදිලිවන්නේ මෙසේ නොයෙක් ජාතීන්ට අයත් පිරිස සසුනෙහි පැවිද්ද ලද නමුත් ඒ සියල්ලන්ම සාක්‍ය ජාතික සිද්ධාර්ථයන්ගේ පුත්‍රයන් සේ හඳුන්වන්නට බුදුහු කැමති වූ බවයි. නැතහොත් සිය ජාතියේ නාමයෙන් සිය සව්වන් හඳුන්වන්නට බුදුරදුන් තුළ වූ කැමැත්තයි.
විවිධ ගොත්‍රයනට, ජාතීනට, කුලයනට අයත් පිරිස් මෙම සාසනයෙහි පැවිදිව සිය භාෂාවෙන් ධර්මය උගනිති. විවරණය කරති. එය ධර්මයේ පැවැත්මට තර්ජනයක් විය හැකිය. එබැවින් බුද්ධ වචනය සංස්කෘතයට /වෛදිකය/ නගන්නට වරෙක බුදුන් හමුවට පැමිණි යමෙළු හා තෙකුල යන භික්ෂුහු ඉල්ලා සිටිය හ. ඔවුනට හිස්පුරුෂයන් සේ අමතන බුදුහු සිය භාෂාවන්ගෙන් ධර්මය උගන්වන්නට අනුදත් හ. 

( චුල්ලවග්ගපාලී 2,ඛුද්ධකවත්තුක්ඛන්ධකය, 100පිට ) 

බුදුරජාණන්වහන්සේ සිය භාෂාවෙන් ඉගනීම, ඉගැන්වීම එයට අනුගත වීම, අනුදත් අයුරු ඉන් මනාව හඳුනාගත හැකිය.
සිය සන්තකය, උරුමය නොනසා රැකගන්නට බුදුහු භික්ෂුන්ට නිරන්තරයෙන් ම මග පෙන්වූහ. එයට ඇති අපමණවත් සාධක අතරත චුල්ලවග්ගපාලියෙහි අරඥ්ඥක වත විවරණය කරන තන්හි දක්වන්නේ සොර සතුරන්ගෙන් වන උවදුරුවලින් අවාසයෙහි ඇති භාණ්ඩ ආරක්ෂා කර ගන්නට පිණ්ඩපාතයට මත්තෙන් විහාරය සතු සියලු බඩු ආවාසය තුලට දමා දොර ජනෙල් නිසි පරිදි අගුලු දමා පිටවිය යුතු බව දැක්වීම ද එකකි.

 (චුල්ලවග්ගපාලී 2, වත්තක්ඛන්ධකය, 360 පිට) 

ඉන් පෙන්වා දෙන්නේ සිය සන්තකය, සිය උරුමය රැකගැනීම හා ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු ඉටුකිරීම, ඒ වෙනුවෙන් පෙනීසිටීම භික්ෂුන් සතු යුතුකමක් වන බව ම නොවන්නේ ද.

වරෙක ආනන්ද තෙරුන් අමතන බුදුහු '' ආනන්දය මට කිඹුල්වතින් හමන්නා වූ සුළඟ වුවද සැප ය.'' යි වදාරති. ඒ කිම්බුල්වත නම් බුදුරදුන්ගේ ජන්ම බූමියම බව අපි ඉහත දැක්වීමු. සිය ජාතිය වසන සිය ඥාතීන් වසන දෙසින් හමන සුළඟ පවා සැපයක් යයි සලකූ උන්වහන්සේ ජාතියෙහි සුරක්ෂිතතාවය වෙනුවෙන් පැවැත්ම වෙනුවෙන් පෙනීසිටීම වරදක්යයි නොදක්වනවා නිසැක ය. සිය ජාතියට ව්‍යසනයන් පැමිණි විට ඒවා කල් ඇතිව හඳුනාගත් බුදුන් ඒ වෙනුවෙන් පෙනීසිටි අයුරු සාහිත්‍ය තුළ මැනවින් දිස්වේ. රෝහිණී නදියෙහි ජලය වෙනුවෙන් සාක්‍ය කෝලිය දෙපිරිස සටන්වදින්නට සුදානම් වන විට බුදුහු එතනට වැඩ එය සමනය කරලන්නේ යුද්ධය අතිවූයේනම් සිය ඥාති පිරිසට වන හානිය නිසාවෙනි. එය හොඳින්ම පැහැදිලි වන්නේ වෙනත් කිසිඳු අවස්ථාවක යුද්දයක් නවතන්නට බුදුන් ඉදිරිපත් නොවීමෙනි.

  (මැදගම වජිරඥාන හිමි, විද්යාසුදනී සඟරාව, සංස්කරණය- විලඔයේ විමලජෝති හිමි ආදී, ලන්ඩන් බෞද්ධ විහාරීය ප්‍රකාශනයක් )

 සාක්‍යයන්ගේ අවමානය නිසාවෙන් උරණ වූ විඩුඩබයන් සාක්‍යයන් නසන්නට යන්නට සැරසෙන්නේ බුදුහු මැදිහත් වී එය වලකා ලති. මේ සියල්ලෙන් පෙනෙන්නේ බුදු රදුන් සිය ජාතියට ආදරය කළ බව හා එයට ව්‍යසනයන් පැමිණුන අවස්ථාවල ඒවා හැඳින ඒවා වළකන්නට ඉදිරිපත් වූ ආකාරයම වේ.
සිංහලයා නම් බෞද්ධයාම ය. මෙම සිංහල රාජ්‍යයෙහි රජවන්නට පුළුවන් වන්නේද එවැන්නන්ට පමණකි. මෙය අනුරාධපුර යුගයෙහි ජේතවන විහාර සෙල්ලිපියක හතරවන මිහිඳු රජ දක්වන්නකි. එය නිස්සංක මල්ලයන් සිය පොළොන්නරු ගල්පොත ශිලා ලිපියෙහි දී තහවරු කරලයි. එයින් පෙනෙන්නේ සිංහලයාගෙන් බුදු සමයත් , බුදු සමයෙන් සිංහලයාත් වෙන්කරන්නට නොහැකි බවයි. බෞද්ධයාටම සිංහලකම හා සිය ජාතිය පිලිබඳ අභිමානය ජනිත වේ. එය එසේ හෙයින් බුදුන් පළමු ධර්මප්‍රචාරක පිරිසට දක්වූ අයුරින්ම තවමත් අඛණ්ඩව ධර්මප්‍රචරණයෙහි යෙදෙන භික්ෂුන් සසුන සුරකින්නේනම් සිංහලයා සුරකින්නට ඉදිරිපත්විය යුතු ම ය. ඉඳින් යමෙක් බුදුරදුන් මෙන් සිය ජාතියෙහි ව්‍යසනයන් දැන එය රකින්නට පෙරට නොයෙන්නේ ද, සිය මව් බසට ගරහන්නේ ද, සිය ජාතියට වඩා අනෙකක් උසස්කොට සලකන්නේ ද, ජාතිය පිලිබඳ ආදරයක් හා අභිමානයක් නොවන්නේ ද, ඔහු බෞද්ධයකු නොවන්නා සේම බුදු මග යන්නෙක්ද නොවන්නේ ම ය.


උක්ත විහාර භාණ්ඩ සුරකින්නට භික්ෂුන්ට කළ මග පෙන්වීම අනුව සලකන විට සිංහලයාගේ උරුමය  සිය උරුමය , අතීතය කියා පාන්නේ බොදු අභිමනම නොවන්නේද, බලන්න පැරණි රාජධානි දෙස නැවත හැරී. වෙනුවෙන් භික්ෂුව පෙනී නොසිටින්නේ ද හේ සිය චර්යාවෙන් බැහැර වේ, විනය කඩ කරන්නේ ද වේ. බුදු වදනට අණට පිටු පාන්නෙක් ද වන බව වටහා ගත හැකිය. 


ඇතමෙක් මෙය කියවා එසේනම් බුදුන් දෙසු මෛත්‍රිය, සමානාත්මතාවය කොතැනදැයි විමසන්නට බැරි නැත. එයට පවසන්නට ඇත්තේ මෙයයි. මෙය නිගණ්ඨ දහම නොව. එබැවින් මෙහි පරම අවිහිංසාවාදය නොවන බවයි. චුල්ලවග්ගපාලි සේනාසනක්ඛන්ධකයේ අවාසයෙහි බැඳී මකුළු දැල් කඩා ඉවත් නොකරන භික්ෂුවට ඉන් ඇවතක් වන බව දක්වයි. ඉන් පැහැදිලි වන්නේ සිය වාසභූමිය තමන්ට වසන්නට නොසුදුසු තැනක් වන්නට මත්තෙන් පිරිසිදු කරගත යුතු බවයි. මෛත්‍රිය සිය පැවැත්මට හානිකර නොවන්නට යොදාගත යුතුය. එයම ඉහත මකුළු දැල් පිලිබඳ පැනවීමෙන් නොපෙනේද. සර්පයා වලිගයෙන් හෝ කඳින් අල්ලා ගත්තේ නම් උ ඔහුටම දසට කරනවා ඇත. ධර්මයද වරදවා ගත්තේනම් වන්නේ විනාසයක්ම ය. එය මානව වටහා ගත යුතුය. එනිසාවෙන් ජාතියට බැඳී මකුළු දැල් වැනි උපට්‍රාව හඳුනාගෙන එය කඩා ඉවත් කරලන්නට ඉදිරියට නොයෙන්නේද සිය ජාතියට, ආගමට, බසට ආදරය නොකරන්නේ ද, ඒවා පිලිබඳ අභිමානයක් නොවන්නේ ද, ඔහු බොදුනුවකු හෝ බොදු මග යන්නෙක් ද නොවන බව සියල්ලෝ වටහා ගත යුතු ය.


පූජ්‍ය.සපුගස්යායේ ධම්මසාර ස්වාමින් වහන්සේ.

0 comments:

Post a Comment