Aug 22, 2013

තවමත් පැද්දෙන ලොව පරණම ඔංචිල්ලාව

සුළඟත් සමග ඉහළට ඉහළට ඇද්දී ගොස් වේගය අඩු වූ කල්හි යළිත් රිද්මයානුකූලව ‍පොළව කරා පැමිණෙන ඔංචිල්ලාවක ඉහළට පහළට පැද්දීමට අකමැති කවුද? ඔංචිල්ලාවට පෙම්බැඳියෝ කුඩා ළමුන් වුවද, එහි අතීත වගතුග දැන ගැනීමටත්, දැනට ලෝකයේ පිහිටි ක්‍රියාකාරී තත්ත්වයේ පවතින Ounchilla1පැරණිතම ඔංචිල්ලාව පිළිබඳ විස්තර දැනගැනීමට නම් ලොකු කුඩා කවුරුත් කැමති වනු ඇති බවට සැක නැත. බ්‍රිතාන්‍යයේ නොතැම්ප්ටන්ෂයර්හි කෙටරින් නමැති ගම්මානයේ වෙසෙන ඉයන් හා ඩෙබි විල්කින්ස් යුවළගේ ගෙවත්තේ පිහිටි අඩි දොළහක් උසැති  තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවත්නා ඔංචිල්ලාව පසුගිය දිනකදී ඉතිහාසඥයන් විසින් ලොව දැනට පවතින ඉපැරණිම ඔංචිල්ලාව බව තහවුරු කර ගත්තා පමණක් නොව මීට දශක නවයකට පෙරදී ඔංචිල්ලාවේ නිර්මාතෘවරයා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන චාල්ස් වික්ස්ටීඩ් විසින් ඉදිකළ ලොව ප්‍රථම ඔංචිල්ලාවේ මුලාකෘතියක් බවද සැක හැර තහවුරු කිරීමට සමත් වූහ.

වත්මනේ ළමා උද්‍යානයන්හි අනිවාර්ය අංගයන් බවට පත්ව තිබෙන නූතන ඔංචිල්ලාවේ හා ලිස්සන බෝට්ටුවේ නිර්මාතෘවරයා වන වික්ස්ටීඩ්ගේ පවුලට අයත්ව තිබූ මන්දිරය වටා පිහිටි උද්‍යානයේ ඉදිකොට ඇති මෙම ඉපැරණි ඔංචිල්ලාව පරම්පරා ගණනාවක දරුවන් හට විනෝදය හා අහිංසක ප්‍රීතියක් සපයමින් සිදුකළ සේවයට මේ වන විට වසර අනූවක් සපිරුණද, කිසිදු උපද්‍රවයකින් තොරව එහි හිඳගැනීමට ඇති දැවමය ආසනය පවා අදටද ආරක්ෂිතව පවතින අයුරු ඇත්තෙන්ම පුදුමාකාරය. එදා මුල්වරට යොදන ලද එකී දැවමය ආසනය පමණක් නොව, ඔංචිල්ලාවේ දම්වැල් හා රතු හා කොළ පැහැ තීන්ත ආ‍ලේපයේද අදටද කිසිදු වෙනසක් දැකිය නොහැක.  1926 වසරේදී වික්ස්ටීඩ් විසින් ක්‍රීඩා භාණ්ඩ හා උපකරණ අලෙවියට බට කල්හි ඒවායේ නිර්මාතෘවරයා හා සම්භවය විස්තර කෙරෙන නාම පුවරුවක් සිය සෑම අලෙවි භාණ්ඩයකම ප්‍රදර්ශනය කෙරුනු අතර මෙම ඔංචිල්ලාවේ එවැන්නක් Ounchilla2දක්නට නොලැබිමත්, එහි ප්‍රමාණය හා හැඩයත් හැම අතින්ම කියා පාන්නේ මෙය වික්ස්ටීඩ් විසින්  සිය පවු‍ලේ සාමාජිකයන්ට තිළිණ කෙරූ, පූර්ව නිෂ්පාදන අත්හදාබැලීමක මුලාකෘතියක් බවය.

1921 වසරේදී එනම් ක්‍රීඩා භාණ්ඩ අලෙවියට අවතීර්ණ වීමට ප්‍රථම, වික්ස්ටීඩ් විසින් ‘කෙටරින්’ නගරයේ සිය නමින් ක්‍රීඩා උද්‍යානයක් ඉදිකරන ලද්දේ තමා ඉමහත් ලැදියාවක් දැක් වූ උපන් නගරයට කෘතගුණ දැක්වීමේ අභිප්‍රායෙනි. ලොව ඉපැරණිම ඔංචිල්ලාව අනපේක්ෂිත ලෙස විල්කින්ස් පවු‍ලේ ගෙවත්තෙන් සොයා ගනු ලැබිම පිටුපස ඇත්තේද රසබර කථාවකි. ඓතිහාසික වික්ස්ටීඩ් උද්‍යානයේ අතීත කථාව පිළිබඳව ව්‍යාපෘතියක් කිරීමට අදහස් කළ උද්‍යාන බලධාරීන් ඒ සඳහා ඉපැරණි වික්ස්ටීඩ් ක්‍රීඩා භාණ්ඩවල ඡායාරූප හෝ වෙනත් ලිඛිත තොරතුරු සොයා ගැනීමේ අරමුණින් මහජනතාවගෙන් ‍පොදු ඉල්ලීමක් සිදු කර තිබේ. මීට එකොළොස් වසරකට පෙරදී වික්ස්ටීඩ් මන්දිරයේ පදිංචිය කරා පැමිණි ඉයන් හා ඩෙබි විල්කින්ස් යුවළ හා ඔවුන්ගේ දරුවන් වන ජේම් හා ලුක් හට ගෙවත්තේ කොණක වූ පැරණි පෙනුමින් මෙන්ම අසාමාන්‍ය ලෙස ඉහළ උසකින් යුතු වූ ඔංචිල්ලාව නියත වශයෙන්ම ඉතා ඈත අතීතයකට උරුමකම් කියන්නක් බව වටහා ගැනීම අපහසු නොවූවද, එය ඓතිහාසිකමය වශයෙන් මෙබඳු වටිනාකමක් සහිත නිමැවුමක් බවට කිසිදා සැක නොකළහ.සිය අසල්වැසි නිවසේ මීට කලකට පෙරදී ජීවත් වූයේ ගෙවතු ඔංචිල්ලාවේ නිර්මාතෘවරයා වන චාල්ස් වික්ස්ටීඩ්ගේ දියණිය වන හිල්ඩා බව විල්කින්ස් යුවළ දැන සිටියද සිය ගෙවත්තේ පිහිටියේ වික්ස්ටීඩ්ගේ ඔංචිල්ලාවේ මූලාකෘතිය බවට ඔවුන්ට පළමුවරට හැඟී යන ලද්දේ උද්‍යාන බලධාරීන්ගේ ඉල්ලීමෙන් පසුවය.වෘත්තියෙන් ඉංජිනේරුවකු වූ වික්ස්ටීඩ් විසින් ආරම්භයේදී සිය උද්‍යානය සඳහා ඉදිකළ  ඔංචිල්ලාව හා ලිස්සන බෝට්ටු පසුකලකදී ලෝකය පුරා අලෙවි  වන ලද්දේ ඒවාට හිමිවූ අතිශය ජනප්‍රියත්වය නිසාමය. එකල බ්‍රිතාන්‍ය පවුම් හය බැගින් අලෙවි වූ මෙම එක් ඔංචිල්ලාවක් සවිකිරීම සඳහා යාර 4*6 ප්‍රමාණයේ ඉඩකඩක් අවශ්‍ය වූ බව කියැවේ.

සාම්ප්‍රදායික වික්ස්ටීඩ් වර්ණයන් වන රතු හා කොළ පැහැයෙන් ආ‍ලේපිත මෙම ඉපැරණි ඔංචිල්ලා වසර අනූවකට පසුව වුවද කෙතරම් තේජාන්විත ස්ථාවරත්වයකින් නැගී සිටින්නේද යත් එය තවත් ශතවර්ෂයක කාලයක් ඉදිරියටද පවතිනු ඇත්තේ විවේකය ගතකිරීමේ ක්‍රමවේදයන් විප්ලවීය මගකට අවතීර්ණ කළ චාල්ස් වික්ස්ටීඩ්ගේ මතකය සදානුස්මරණය කරවමිනි.

ප්‍රියන්ති රුද්‍රිගු

0 comments:

Post a Comment