Sep 27, 2013

වත්මන් ටෙලි නාට්‍ය මගින් සංසිඳෙන්නේ කතුන්ගේ ඕපාදූප අවශ්‍යතාවයද?

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි
 
ටෙලි නාට්‍ය නැරඹීමේදී පුරුෂ පක්ෂය අභිභවමින් කාන්තාව පෙරමුණ ගෙන තිබිම ගම්බද නගරබද වෙනසක් නැතිව දැකගත හැකි දෙයකි. කාන්තාව එලෙස ටෙලි නාට්‍ය වෙත වැඩි නැඹුරුවක් දක්වද්දී පුරුෂ පාර්ශ්වය ක්‍රියාදාම, රහස් පරීක්ෂක කතා හා ක්‍රිකට් තරග වැනි දෑ නැරඹීමට වැඩි කැමැත්තක් දක්වති. මෙම තත්ත්වය සමහර අවස්ථාවලදී දෙපාර්ශ්වය අතර මත ගැටුම් පවා ඇති කරවීමට හේතුවක් බවටද පත්වේ.
මුල් යුගයේ සතියකට වරක් පමණක් විකාශය වූ ටෙලි නාට්‍ය අද වන විට සතියේ දින පහ පුරාම පාහේ විකාශය වේ. විවිධ නාලිකාවන් ඔස්සේ එවැනි ටෙලි නාට්‍ය තුන හතරක් එක දිගට නැරඹීමට හුරු වූ කාන්තාවකට ඒ වෙනුවෙන් දවසේ පැය විසි හතරෙන් පැය දෙක තුනක් වත් කැප කිරීමට සිදුවේ. එක් එක් නාලිකා ඔස්සේ විවිධ ස්වරූප ගත් ටෙලි නාට්‍ය ප්‍රචාරය වූවාට ඒ බොහෝ නාටක තුළින් පිළිබිඹු වන්නේ එදිනෙදා ජන ජීවිතය හා බැඳුණු අර්බුද, මත ගැටුම්, ආදරය, වෛරය වැනි  සාමාන්‍ය සහ සුලබ සංසිද්ධීන්ය. r3-1

මේ ආකාරයට පිරිමින්ට වඩා කාන්තාව ටෙලි නාට්‍ය නැරඹීමේදී ඉදිරියෙන් සිටින්නට බලපාන හේතු සාධකද බොහෝය.
පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිපුර ටෙලි නාට්‍ය බලන්නේ ඇයි ?
ජනප්‍රිය සංස්කෘතියේ අංගයක් බවට පත්ව ඇති ටෙලි නාට්‍ය ගලාගෙන යන විෂය ධාරාවක් දැකගත හැකිය. ටෙලි නාට්‍යයක් ජනප්‍රිය වන්නට නරඹන්නා අපේක්ෂා කරන රැල්ල තුළ පැවතීම අත්‍යවශ්‍යවේ. මෙහිදී වැඩිපුර ටෙලි නාට්‍ය නරඹන කාන්තාවගේ ආකර්ෂණය
ටෙලි නාට්‍යයක් වෙත යොමු වීමට නම් පෙර කී ඇගේ නැඹුරුතාවය ඊට යොමු වීම අවශ්‍යය. මෙහිදීද කාන්තාව කේන්ද්‍ර කොටගත් හා ඇය එදිනෙදා ගෘහ ජීවිතයේදී හා සමාජය තුළදී මුහුණ පාන නොයෙක් අර්බුද, ගැටලු දුක, සතුට, පිළිබිඹු වන ඒවා වීම ඇය ඊට යොමු කරවන්නට ඉවහල්වේ.

“හරියට මගේ ජීවිතේ වගේමයි එයාට වෙන්නෙත් මට සිද්ධවෙන දේවල්මයි“ආදී වශයෙන් ටෙලි නාට්‍යයේ චරිත මුහුණ දෙන අත්දැකීම් තමන්ගේ ජීවිතයට සමාන වීම තුළ කාන්තාව එම නාට්‍යය තමන්ගේ දෙයක් බවට පත්කර ගනී. මෙම විඥානය දැඩි සේ ග්‍රහණය කරගත් ටෙලි නාට්‍යකරුවා ද තව තවත් ඇය ඇද බැඳ තබා ගන්නා ආකාරයේ ටෙලි නාට්‍යයන්ම ඉදිරිපත් කරති. වටපිටාව ගැන වැඩිපුර සංවේදී කාන්තාව ටෙලි නාට්‍ය නැරඹීම තුළින් එම මානසික අවශ්‍යතාවය සපුරා ගනීතමන් ජීවත්වන පරිසරයේ සිදුවන දෙය පිළිබඳ විමසිල්ලෙන් හිඳීම අතීතයේ පටන් කාන්තාව තුළින් පිළිබිඹු වූවකි. එදා ගමේ ඇළ, දොළ, ළිඳ ළඟ, ගම්මැද්දේ යමින් කාන්තාව මෙම මානසික අවශ්‍යතාව සපුරාගත් ආකාරය පිළිබඳ පවතින පුවත් එතරම්ම සුබවාදී නොවේ. ජීව විද්‍යාත්මකව හෙළි කරගෙන ඇති ආකාරයට පිරිමියාට වඩා කාන්තාව කෙරෙන් මෙම වටපිටාව පිළිබඳ සංවේදී වීමේ වැඩි බව සංස්කෘතිය හා බද්ධව පවතින්නකි. ඒ නිසාම කොතරම් සමාජයේ සැරිසරන පිරිමියකු වුවද අවට සිදුවන දේ පිළිබඳව දැන ගැනීමට යොමුවන්නේ කාන්තාව වෙතය. අවට සිදුවන දේ දැන ගැනීමට කාන්තාවක් තුළ ස්වභාවයෙන්ම පවතින කුතුහලය තුළ ඇය එවැනි බොහෝ දේ ග්‍රහණය කර ගැනීමට සමත්වේ. ඇය සතු මෙම විමර්ශනශීලි බව පිරිමින් අභිබවමින් ඕපාදූප සෙවීම දක්වාම කාන්තාව යොමුකර වූ බවක් පෙනෙන්නට තිබිණ.
අද ටෙලි නාට්‍ය කාන්තාවන් සතු ඕපාදූප සෙවීමේ කුතුහලය හීන කර තිබේ

අද ටෙලි නාට්‍ය ගලාගෙන යන විෂය ධාරාව ද එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතය තුළ සිදුවන දේවල්වලට ප්‍රතිනිර්මාණයක් බව පෙනෙන්ට තිබේ. එකි’නෙකාගේ පවුල් අතර සිදුවන හැල හැප්පීම්, අර්බුද, පෙම්පලහිලව් ඒ ඒ ජීවිතවල ඇතුලාන්තය ගෙන හැර පෑම් ආදිය කාන්තාව එදා ඕපාදූප සෙවීමෙන් සපුරාගත් මානසික අවශ්‍යතාවයට සපුරාලීමකි. ඒ අනුව ඇයට වටපිටාවේ සැරිසරමින්, එකි’නෙකාගෙන් විමසමින් අවට සිදුවන දේ පිළිබඳව සොයා බැලීමේ මානසික අවශ්‍යතාවය නිවස තුළ ඇති රූපවාහිනිය තුළින් සැපිරිණි. ටෙලි නාට්‍ය තුළින් එදිනෙදා ජන ජීවිතය තුළ ඇතුලාන්තය ඒ ආකාරයෙන්ම ගෙන හැර පාද්දී ඒ තුළින් ලබන මානසික සංහිඳියාව ඇයට ප්‍රමාණවත් විය. තවත් පැත්තකින් වැඩි කාල පරාසයක් රූපවාහිනිය නැරඹීමට කැප කිරීම තුළ පැන නගින කාලය පිළිබඳ ගැටලුවද ඇය වෙනත් දේ වෙත යොමු කරවන්නට බාධාවක් බවට පත්ව තිබේ. ඒ අනුව වර්තමාන ටෙලි නාටකයන්ට පින්සිදු වන්නට අද කාන්තාව ඕපාදූප සොයන්නියගේ භූමිකාවෙන් ටිකෙන් ටික අත්මිදෙමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.
උත්පලා සුභාෂිණී ජයසේකර

1 comments:

  1. ලාංකීය කාන්තාව ඕපාදූප සෙවීමේ අවශ්‍යතාව සපුරාගන්නේ ටෙලි නාට්‍ය තුළින් නම් ටෙලි නාට්‍ය කරුවාට ඇත්තේ මහත් වගකීමකි. ගෙදර බුදුන් අම්මා ලෙස තවමත් ලාංකීය පිළිගැනීමය. ගෙදරසිටින කාන්තාව ස්වාමි දියණිය ලෙස හැඳින්වේ. ඇතැම්විට දරුවන්ට පමණක් නොව ස්වාමියාට ද මවක වේ. ලාංකීය ගැමි සමාජයේ බොහෝ විට ගෘහ මූලිකාව වන්නේ ඇයයි.විවාපත් වූ පසුව පිරිමියාට අලුත් උපතක් දෙන්නේ ද ඇයයි. එහෙයින් ටෙලිනාට්‍ය කරුවාට පැවරෙන්නේ මහත් වගකීමකි. ලිපිය කියවීමෙන් මා සිත ජනිත වූ සිතිවිලි සමුදායකි.

    ReplyDelete