Sep 27, 2013

ඕස්ට්‍රේලියාවට නව නායකත්වයක්

3-1
කැන්ගරු දේශය ලෙස විරුදාවලිය ලත් ඕස්ට්‍රේලියාව අපට ආගන්තුක නොවේ. ඒ නිසාම එරට තුළ සිදුවන දේශපාලනික හා සමාජීය පෙරළි පිළිබඳව අපි නිරන්තර අවධානයකින් පසුවන්නෙමු. මෑත කාලයේදී ඕස්ට්‍රේලියානු දේශපාලනය තුළ සිදුවූ හැලහැප්පීම්   බොහෝයි. ජුලියා ගිලාඩ්  අගමැතිකමෙන් ඉවත් වීමත් කෙවින් රඩ් යළි අගමැති ධුරයට ඒමත්  එහිදී කැපීපෙනිණි. එහෙත් වැඩි කලක් අගමැති පුටුවේ සිටීමට ඔහුට වරම් නොවිණි. හතළිස් හතර වන වතාවට පැවැති ඕස්ට්‍රේලියානු  මහ  මැතිවරණය තවත් සුවිශේෂී වෙනසක් කරා ඕස්ට්‍රේලියාව ගෙන ගියේ විපක්ෂයට රටේ අනාගතය භාර කරමිනි. ඒ  වෙනසේ ඇතුළාන්තය මෙවර අපගේ දේශපාලන ලිපිය තුළින් කියවා බලමු.

ඕස්ට්‍රේලියානු දේශපාලන  ඉතිහාසය දෙස බලද්දී ඔවුන්  කලක් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ  පාලනය වුණි. ඒ නිසාමදෝ බ්‍රිතාන්‍යයේත් ඇමෙරිකාවේත් සුසංයෝගයක් ඕස්ට්‍රේලියානු   පාර්ලිමේන්තු ක්‍රමය තුළ වේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් හා සෙනෙට්  සභාවෙන් සැදුම්ලත් එය ආසන එකසිය පනස් පහකින් සමන්විත වූවකි. එරට ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවේ ප්‍රධානියා අගමැතිවරයායි. අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය අසුන් ගන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලයේයි. පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් දිනා ගැනීමට නම් ආසන එකසිය පනහෙන්  භාගයකට වැඩි ප්‍රමාණයක් ඔවුන්ට හිමි විය යුතුවේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ප්‍රාන්ත නියෝජනයක් පවතින අතර ප්‍රාන්තයේ ජනගහනය අනුව මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව තීරණය වේ. එනම් ජනගහනය වැඩි ප්‍රාන්තයක  මන්ත්‍රීවරුන්ද වැඩි වේ. මේ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ක්‍රමයේ දළ සැලැස්මයි. එරට මැතිවරණ  ක්‍රියාවලිය බොහෝ දුරට ඇමෙරිකාවට සමාන වූවකි. පසුගිය සැප්තැම්බර් හත් වනදා කැඳවූ ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ  අරමුණ  වූයේ පාර්ලිමේන්තුවට නව සාමාජිකයින් තෝරා පත්කර ගැනීමයි.  එය පාර්ලිමේන්තුව තුළ පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියාව තුළම වෙනසක් ඇති කරන්නක් විය. විපක්ෂ නායකයා අගමැති පුටුවට ගෙන ඒම මෙවර ඕස්ට්‍රේලියානුවන් සිදුකළ  වෙනසයි. කෙවින් රඩ් ගෙදර යවා ටෝනි ඇබට් අගමැති පුටුවට ගෙන ඒමට ඕස්ට්‍රේලියානුවන්ට සිතුණේ ඇයි? ‍ලේබර් පක්ෂයෙන්  පාලනය ගිලිහී විපක්ෂයේ සිටි ලිබරල් වාදීන්ට  බලය හිමි වූයේ වසර හයකට පසුවයි. සය වසරකට පසු ඕස්ට්‍රේලියානුවන් මෙවන් වෙනසක් කරා යාමට පෙළඹ වූ කාරණා බොහොමයක් වේ. කොහොමටත් මෑතක සිට ‍ලේබර් පක්ෂයේ නායකත්වය පැවැතියේ  අස්ථාවරත්වයකය. අගමැති  පුටුවේ සිටි ජුලියා හිලාඩ්  ඉන් ඉවත් කර ඉන් පෙර අගමැති ධුරයේ සිටි කෙවින් රඩ් යළි එම ධුරයට ඒම පක්ෂ නායකත්වයේ හැලහැප්පීම් තිබූ බවට දිය හැකි හොඳම  සාක්ෂියයි. ජුනි මාසයේ සිදු වූ මේ නායකත්ව වෙනසේ උණුසුමත් සමග කැඳවා තිබූ ඡන්ද විමසීමකින් පෙනීගියේ විපක්ෂයේ නායකයා ඉදිරියෙන් වන වගයි. ‍ලේබර් පක්ෂය මැතිවරණ තරග බිමට ගෙන ඒමට කෙවින් රඩ් ගත් උත්සාහය අසාර්ථක වූයේ ඒ වන විටත් ඇබට් ඉස්සර වී සිටි නිසායි.   ලිබරල් ජාතික සන්ධානය  නමින් කුඩා පක්ෂවල එකතුවකට නායකත්වය දුන් ඇබට්  සිය ස්ථාවරය  ගොඩ නගාගෙන තිබිණි. දශක තුනක කාල සීමාව ඇතුළත ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියතම නායකයා කෙවින් රඩ් බවට 2010 දී කළ සමීක්ෂණයකින් හෙළි වී තිබිණි. එහෙත් වෙළෙඳ උපක්‍රම හා පතල් බදු සම්බන්ධයෙන් ඔහු ගත් ක්‍රියාමාර්ග පක්ෂය තුළින්ම ඔහුට විරෝධතාවක් එල්ල වීමට හේතු විය. එහි අවසන් ප්‍රතිඵලය  වූයේ ඔහුගේ දෙවැනියාව සිටි ජුලියා ගිලාඩ් පක්ෂ නායකත්වයට පැමිණ අගමැති පුටුවේ  වාඩි වීමයි. එහෙත් 2013 ජූලි මාසයේදී යළිත් පක්ෂයේ සහය දිනාගනිමින්  නායකත්වයට  ඒමට ඔහුට හැකිවිය.   මෙවර ඔහු තුළ ඒ වාසනාව රැඳී  තිබුණේ මාස කිහිපයක් පමණි.   යළි අගමැති පුටුව භාරදී ගෙදර යාමට ඔහුට සිදුවිය. ඕස්ට්‍රේලියාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හා සංක්‍රමණික ගැටලුව මේ වෙනසට ප්‍රබල හේතුවක් වී තිබේ. මේ අතර ටෝනි ඇබට් තුළ ඇති කෙළින් කතා කිරීමේ පිළිවෙත බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට හේතුවක් වී ඇති සෙයක් පෙනේ. ඒ නිසාම “Tear-down Tony” යන අන්වර්ථ නමින්ද ඔහුව හඳුන්වයි. කෙසේ වුවද  ටෝනි ඇබට් තවත් කෙවින් රඩ් කෙනෙකු හෝ ‍ලේබර් පක්ෂ නායකයෙක් නොවනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඒ නිසාම  ටෝනි ඇබට් යුගයේ පහස විඳීමට ඕස්ට්‍රේලියානුවෝ  මෙන්ම ලෝක ප්‍රජාවද බලා හිඳිති.
ර‍ෂේමි ජයසේකර

0 comments:

Post a Comment