Nov 17, 2013

හරිත වර්ණයෙන් බැබළෙන ස්පාඤ්ඤයේ පොදු ප්‍රවාහන සේවය

6-1
හරිත වර්ණයෙන් බැබළෙන පරිසරයක සොබා සිසිල විඳගැනීමත්, සුවඳැති රෝස කුසුමක සුවඳ ආශ්වාදනය කිරීමටත්, නාගරීකරණයෙන් මිදුණු ගම්බද පියසක් හෝ උද්භිද උද්‍යානයක් සොයා යෑමේ අවශ්‍යතාවයක් තවදුරටත් නොවේ. එවැනි අත්දැකීමක් විඳගැනීමට අවශ්‍ය නම් ඉදිරියේදී බස් රථ නැවතුමක රැඳී සිටීමෙන් එය සපුරා ගැනීමට හැකි වනු ඇත. ඒ ගෙවතු අලංකරණ ශිල්පී ‘මාක් ගේ‍රනන්’ විසින් ‘ෆයිටෝකයිනෙටික්’ (Phytokinetic) ලෙස හඳුන්වා දී ඇති නවතම උද්‍යාන සැලසුම්කරණ ක්‍රමවේදයකට පින්සිදු වන්නටය. ශීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණයත් සමග පරිසරයේ හරිත වන සම්පත ක්ෂය වී යාමත් හේතුවෙන් පිරිසිදු වාතය ආශ්වාස කිරීමට එරෙහිව මතුව ඇති බාධාවන් යම්තාක් දුරකට හෝ මැඩලීමේ අරමුණ ඇතිව මාක් විසින් හඳුන්වා දී ඇති නවතම සංකල්පය නම් ‍පොදු ප්‍රවාහන සේවයට යොදා ගන්නා බස් රථවල වහල මත හරිත උද්‍යාන සැලසුම් කිරීමයි. වාහනයේ වායුසමීකරණ පද්ධතිය හරහා එකතුවන ඝනීභවනය වූ ජලය ආධාරයෙන් වගා කෙරුනද අවශ්‍ය විටක ඊට බාහිර ජල සැපයුමක් ලබාදීමේ හැකියාවද වේ. ‘ෆයිටෝකයිනෙටික්’ වර්ගයේ පළමු බස් රථය මේ වන විට මගී ප්‍රවාහන සේවයට එක්ව ඇත්තේ ස්පාඤ්ඤයේ ජිනෝරාහි පිහිටි ස්වභාව සෞන්දර්ය නිකේතනයකට සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහාය.

6-2
පසුගිය සතියකදී මාක් විසින් ‘ෆයිටෝකයිනෙටිස්’ තාක්ෂණයෙන් යුතු හරිත වහලක් සහිත ලොව ප්‍රථම වෑන් රථයද හඳුන්වා දෙන ලද්දේ ශීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණයත්, ජනගහන වර්ධනයත් හේතුවෙන් ඉදිරියේදී මෙබඳු හරිත වාහනවල අවශ්‍යතාව වැඩි වැඩියෙන් දැනෙනු ඇති බව අවධාරණය කරමිනි. නාගරීකරණයත්, ජනගහන වර්ධනයත් කෙතරම් ශීඝ්‍ර ලෙස සිදුවුවද නගරයක ජීවත් වීමේ හැකියාව ලැබෙනුයේ එහි ඇති ශාක සම්පත විසින් සිය ජීව ක්‍රියාවලියක් වන ප්‍රභාසංස්‍ලේෂණය හරහා වාතාශ්‍රය නිසි ලෙස පිරිසිදු කිරීමට ලක්කරන්නේ නම් පමණි. ඒ වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ඉවත් කරමින් ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් පරිදි වායුගෝලයට එකතු කරන්නේ නම් පමණි. මාක් ගේ‍රනන් පවසන ආකාරයට නගරයක පෙණහලු බඳු හරිත සම්පතද ජනගහන වර්ධනයට සමාන වේගයකින් වර්ධනය විය යුතු වුවද සිදුවෙමින් පවතින්නේ ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් බැවින් ඉතිරිව ඇති කුමන හෝ ඉඩක් යොදා ගනිමින් වන වගාව සිදුකිරීමේ විකල්පය සාර්ථක කර ගැනීමේ වඩාත්ම ප්‍රායෝගික ක්‍රමවේදය වන්නේ, ‍පොදු ප්‍රවාහන සේවය හා වෙනත් වාහනවල වහලය මත වනවගාව සිදු කිරීම යන්න ෆයිටෝකයිනෙටික් සංකල්පය බිහිවීමේ පදනම වී තිබේ. 6-3එමගින් නගරයේ වාතාශ්‍රය ස්වභාවිකව පිරිසිදු වනවා පමණක් නොව එය සංචාරක ආකර්ෂණ මාධ්‍යයක් ලෙසද ක්‍රියා කරනු ඇත. මෙහිදී භාවිතා කෙරෙනුයේ පස රහිතව පැළ වගා කිරීමට යොදා ගන්නා විශේෂිත ‘හයිඩේ‍රා‍පොනික්’ මාධ්‍යයක කුඩා පැළෑටි වගා කිරීමය. සාමාන්‍යයෙන් 7 c.m. ක ඝනකමට සකස් කර ගන්නා හයිඩේ‍රාපෙනික් මධ්‍යයේ ඇති විශේෂත්වය නම් ඊට ජලය පෙරා හැර තෙතමනය පමණක් රඳවා ගැනීමට ඇති අසම සම හැකියාවය. වාහනයේ වායු සමීකරණ පද්ධතිය මගින් ඊට ඇවැසි ජලය ලබා ගැනීමේ විකල්පයද ඉතාම ප්‍රායෝගික වූ ක්‍රමවේදයක් වන්නේ, පරිසර ඌෂ්ණත්වය ඉහළ යන කළ ස්වයංක්‍රීයව සිදුවන සිසිලනයද ඊට සමානුපාතිකව ඉහළ යෑමෙන් කිසිදු බාහිර බලපෑමක අවශ්‍යතාවයකින් තොරවම වහලය මත වන වගාවට වැඩි ජල සැපයුමක් ලැබිමයි. සිය නව නිපැයුම තවදුරටත් වැඩි දියුණු කළ නව අංග එකතු කිරීම සඳහා අත්හදාබැලීම් සිදුකරමින් සිටින මාක් ගේ‍රනන් මේ වන විට ඒ සඳහා ආරක්ෂක හා තාක්ෂණික වශයෙන් සමත් විය යුතු සියලුම විභාගයන්ගෙන් සමත් වී සිටින අතර, සිය නව නිර්මාණය ස්පාඤ්ඤයේ මහා මාර්ගවලට පුළුල්ව හඳුන්වා දීම සඳහා අනුග්‍රාහකත්වය ලබා දියහැකි මෝටර් රථ නිෂ්පාදන ආයතන සමගද ගිවිසුම්වලට එළඹී සිටින්නේය. මේ නිසා නුදුරු අනාගතයේදීම රියසක මත ගමනේ යෙදෙන කුඩා පරිමාණයේ උද්‍යාන දැක බලා ගැනීමට අපට අවස්ථාව හිමිවනු ඇත.

ප්‍රියන්ති රුද්‍රිගු

0 comments:

Post a Comment