· ළඟදී ඉඳල චණ්ඩිපාට් දාන ආගමික සංවිධාන බිහිවුණා. බොදුබල සේනා කියන්නෙත් ඒ කුලකයේම සංවිධානයක් නේද?
v බොදුබල සේනා සංවිධානය කියන්නෙ මේ රටේ බෞද්ධයන්ගේ, සිංහලයන්ගෙ සෑහෙන කාලයක් තිස්සේ තිබුණු බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීමේ ප්‍රතිඵලයක්. අපි යටත් විජිතයක් වෙලා ඉඳලා ලබාගත්තෙ පූර්ණ නිදහසක් නෙවෙයි. ඒක නාමික නිදහසක් විතරයි. ඒක අරගල කරල, සටන් කරල දිනාගත්ත නිදහසක් නෙවෙයි. ඒ නිසාවෙන්ම මේ ජාතියට ජාතික අරමුණක් නැතිවෙලා තියෙනවා. බෞද්ධයෝ හැටියට ඉලක්කයක් නැති ජාතියක් හැටියට ජාතික අරමුණක් නැති වටපිටාවක අයාලේ යන සිංහල බෞද්ධ ජාතියක් තමයි ඉන්නෙ. මේ නිසා කලින් කලට ජාතියට මඟපෙන්වීමේ අරමුණෙන් විවිධ සංවිධාන බිහිවුණා. නමුත් අවාසනාවට මේ සියල්ල නතර වුණේ බල දේශපාලනය තුළ. මේ හින්ද මිනිසුන්ගේ හිත්වල තිබුණු බලාපොරොත්තු සේදිලා ගියා. ඒ විතරක් නෙවෙයි බෞද්ධයාට බෞද්ධ නායකයෙක් නැති, සංඝයාට සංඝනායකයෙක් නැති සිංහල ජාතියට නායකත්වයක් නැති තත්ත්වයට අද පත්වෙලා තියෙනවා. මෙන්න මේ සම්බන්ධව අපිට අතීතයේ වැරැදුණු තැන් අතීතයේ වරද්දපු තැන් ගැන හොඳට හොයල බලල කිරම විමලජෝති හාමුදුරුවොත් එක්ක වගේම මේ රටේ නැණ උගත් හාමුදුරුවරුත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි බොදු බල සේනා සංවිධානය පිහිටුවා ගන්න තීරණය කළේ.
- ඔබ වහන්සේ අමු ආගම්වාදියෙක්?
v මම කැමැතියි එහෙම කියනවට. ඒකට හේතුව මම මගේ ආගමට, ජාතියට ආදරේ කරන්නෙ නැත්නම් මට පිට ජාතියකට ආදරේ කරන්න බෑ. ඉතිහාසයෙ කොතැනකවත් ලෝකයෙ මොනම ආගමකින්වත්, ජනවර්ගයකින්වත් අපට චෝදනාවක් තියෙනවද අපි ආගම්වාදියි කියල. නමුත් අපි තමන්ගෙ ජාතිය ගැන කතා කරනව කියන්නෙ ජාතිවාදය නෙවෙයි ජාතිකවාදය. තමන්ගෙ ආගම ගැන කතාකරනව කියන්නේ ආගමික මූලධර්මවාදය නෙවෙයි, තමන්ගේ ආගමේ හර පද්ධතියේ පැවැත්ම වෙනුවෙන් අපේ කැපවීම්. නමුත් අද වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන එක්කෙනෙක්වත්, පාර්ලිමේන්තුවෙ 225න් 157ක් සිංහල බෞද්ධ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යනවා, අපි අහල තියෙනවද තමන්ගෙ ජාතිය වෙනුවෙන් කතාකරනව? එක තැනකවත් අහල තියෙනවද තමන්ගේ වර්ගයා වෙනුවෙන් කතාකරනවා? පාරවල් හදනවා, බිල්ඩින් හදනව කියන්නෙ සංවර්ධනය නෙවෙයි. මිනිස්සු සෑදීමයි සංවර්ධනය කියන්නෙ. අපේ රටේ කොයිතරම් ආගමික මංකොල්ල තියෙනවද? අපේ රටේ බරපතළම අර්බුදයක් තියෙනව දැන් අන්‍ය ආගමිකකරණය සිදුවීම. සදාචාර විරෝධීවයි එය සිදුවන්නේ. ඉතින් ඒකට එරෙහිව කතාකරනවා නම් ඒක ආගමික වාදයක් වෙන්නෙ කොහොමද? අනිත් කණ්ඩායම් තමන්ගෙ ආගම ජාතිය වෙනුවෙන් ඕනෑවටත් වඩා පෙනී සිටිනවා. නැඟෙනහිර පළාතෙ මේ වෙනකොටත් විශාල දාගැබ් 3ක් ඩෝසර් කරලා දාලා තියෙනවා. මේ ඩෝසර් කරල දාන්නෙ අපේ අතීත අභිමානය. කවුද මේව ගැන කතා කරන්නෙ. ඉතින් මේ වගේ වටපිටාවක් ඇතුළෙ අපිට සිද්ධ වෙනව සිවිල් සමාජයේ බලයක් වෙමින් මේ රට කරවන ඇත්තන්ගෙ ඇස් අරවන්න බරපතළ විදිහට. මේ ජාතියට වෙන අනතුරත්, ආගමට වෙන අනතුරත් හොයල දෙන්න. භික්ෂූන් වහන්සේලාගේ අභිමානය බිඳවැටිලා. පෞරුෂය බිඳවැටිලා. හාමුදුරුවරු හරියට කොන්ඩම් න්‍යායෙන් දැහැටි දඬුවක් භාවිත කරල විසිකරනව වගෙ තමන්ගෙ වුවමනාකම්වලට පාවිච්චි කරල පැත්තකට විසිකරල දානව. කෝ අද මහනායක හිමිවරුන්ට බලයක්. ඒවට කවුද වග කියන්නෙ.
- ඔබ වහන්සෙ කොහොම කිව්වත් අනිකුත් ආගම්වල ජාතිකත්වය, එකමුතුකම හදන්නෙ ඔවුන්ගෙ ආගම් විසින්මයි. ඇයි එහෙම අපෙ ආගමේ නැත්තේ?
නායකයො වැඩිවුණාමත් සියල්ල විනාශ වෙනව, නායකයො නැතුවුණාමත් සියල්ල විනාශ වෙනව. අපට අද නායකයො වැඩිවෙලා තියෙන්නෙ. ඇහෙණ බණත් වැඩියි. දැන් ඕන තැනක ලාබෙට බණ තියෙනව. හරියට පිටකොටුවෙ සිල්ලර කඩ වගේ. ඒ අස්සෙ බණ නළුවොත් බිහිවෙලා ඉන්නවා. අපිට දහම් පාසලක්වත් හරියට පවත්වාගෙන යන්න බෑ. ටියුෂන් මාස්ටර්ලා ඒවට වගකියන්න ඕන. ඒ ගොල්ලො හරි උජාරුවෙන් කියන්නෙ ළමයි ශිෂ්‍යත්වය පාස් කරවන්නේ අපි කියල. එහෙනම් මොන බම්බුවටද අධ්‍යාපන ඇමැති කෙනෙක්. රජය පවා මේවට වගකියන්න ඕන. සමහර පුහුණුවීම් කටයුතු පවා යොදන්නෙ පෝය වගේ දවස්වල.
- යුද්ධෙ කාලෙ යුද විරෝධී කණ්ඩායම්වලට එරෙහිව ඔබ නැඟී හිටිය. එතකොට බොදු බල සේනාව හිටියෙ ආයුධ සන්නද්ධවද?
v මේ යුධ විරෝධි කණ්ඩායම් බිහිවුණේ කුමාර් රූපසිංහ මහත්තයගෙ ප්‍රධානත්වයෙන්. ඔහු හරිම භයානකයි. සියරාලියෝන් දෙකඩ කරන්නත් මුල් වුණ එක මිනිහෙක්. අපිට එරෙහිව නැගී හිටපු ත්‍රස්තවාදීන්ට දිගින් දිගටම උදවු කරේ NGO කාරයො. උන්ට ඕන වුණේ ලංකාවෙ යුද්ධෙ හිඟන්නගෙ තුවාලයක් කරගන්න. මේක සුද්දගෙ කොලනියක් කරගන්න මාන බැලුවෙ. මේ වගේ වෙලාවක L.T.T.E. කාරයො පාරමී කුලතුංග මහත්තය වගේ රණවිරුවො ගණනාවක් ඝාතනය කළා. කැබිතිගොල්ලෑවෙ මහා විනාශයක් සිද්ධ කළා. සරත් ෆොන්සේකාව මරන්න මරාගෙන මැරෙන කොටියෙක් එව්ව. ඒත් යුද විරෝධී කණ්ඩායම් එකතුවෙලා යුද්ධෙ එපා කියල පෙළපාළි ගියා එතැනදි තමයි අපි කිව්වෙ යුද්ධෙ තියෙන්නෙ මෙහෙ නොවෙයි උතුරෙ. මෙහෙ පෙළපාළි ගිහිල්ල වැඩක් නෑ ගිහිල්ල යුද්ධෙ එපා කියල ප්‍රභාකරන්ට ගිහින් කියා ගනියව් කියල. ආණ්ඩුව L.T.T.E. පරාද කළ යුතුයි කියන ස්ථාවරේ හිටිය.
යුද්ධය එපා කිව්ව, ඩිලාන්ල, රාජිත සේනාරත්නල රෙදි ඇඳගෙන කොහොමද ජාතිය ඉස්සරහට එන්නෙ කියල පොඩ්ඩක් හිතන්න වෙනව.
· ඔබ සංවිධානය විසින් මෑතකදී හෙළිදරව් කිරීමක් කළා බෞද්ධ අම්මලා වඳභාවයට පත් කරනව කියල. මොකක්ද මේකෙ ඇත්ත?
v 1970 ගණන්වල ඉඳල මේක ක්‍රියාත්මක වෙනවා. දැනටමත් අටලක්‍ෂයකට වඩා ගබ්සා කරල තියෙනවා. මේ රට ඇතුළෙ නීතිවිරෝධී විදිහට දවසකට 700 - 1000ක් ගබ්සාවට ලක්වෙනව. මෙ අය පවුල් සංවිධාන ක්‍රම කියල මේව කරගෙන යන්නෙ තැනින් තැන සදාචාරයෙන් තොරව, වවුනියාවෙන් මෙහාට එක නීතියකුත්, වවුනියාවෙන් එහාට තව නීතියකුත් තියෙන්න විදිහක් නෑනෙ. LR සැත්කම සිංහල සමාජයෙ අම්මල කරගන්න හදනකොට ළමයි දෙන්නෙක් ඇති. අවුරුදු 26ට වඩා වැඩි වුණාම ඇතිවගේ නීති තියෙන්නෙ. ඒත් වවුනියාවෙන් එහාට මේ නීති තියෙන්නෙ අවු 40න් එහාට ගියාම තමයි කරගන්න පුළුවන් කියල. මාතර, බණ්ඩාරගම, අකුරැස්ස එක පණිවිඩෙන් අපි මේව නතර කරල දැම්ම. මේ මුග්ධ දේශපාලන රැළ හැත්තෑ ගණන්වල පනත් ඉස්සරහට ගෙනල්ල කතාකරන නිසා අපි බලපෑමක් කරලා තියෙනවා. ඕනෑම අර්බුදයක් නිර්මාණය වුණාම ඒ සඳහා අපි නායකත්වය දෙනවා.
- බොදු බල සේනාවට දේශපාලන හයියක් තියෙනවද?
v මම කවදාවත් පක්‍ෂ දේශපාලනය තුළ නෑ. හෙළ උරුමය, සිහල උරුමය මුලින්ම වෙනස්ම අයුරින් ආරම්භ කළත් පසුව අපිට තේරුණා ඔවුන් පක්‍ෂ දේශපාලනය තුළ දියවෙනවා. සරත් ෆොන්සේකාට ආශීර්වාද පූජාව කළේ මම. චරිත මට අදාළ නෑ. මම කළේ මධ්‍යස්ථ භික්‍ෂුවක්ගේ වගකීම. මම කාගෙවත් අතකොළුවක් නෙවෙයි. අපි කරන්නෙ ජාතික දේශපාලනය. මිහිඳු හාමුදුරුවොත් මේ දේම කළා.
පාර්ලිමේන්තු යන්න, පළාත් සභා මන්ත්‍රිකම් ගන්න නෙවෙයි අපි මේව කරන්නෙ.
- මහින්ද රාජපක්‍ෂ කියන සිංහල නායකයාව ඔබ පිළිගන්නවද?
v යම් තරමකට. එයා හින්ද ගොඩක් සංවිධාන දියවුණා. එතුමා ආඩම්බරකාර නායකයෙක්. නමුත් බෞද්ධාගම ගැන හොඳ හැඟීමක් තිබුණා. මහජනතාවට සමඟිය, සාමය, ආරක්ෂාව කියන දේ තිබුණා. නමුත් ඒ වටා ආදර්ශවත් නිලධාරි පැලැන්තියක් නෑ. ඉතින් අපි කොහොමද සිංහල නායකත්වයක් නඟාසිටුවන්නෙ. අපි තව අවුරුදු දහයකින් කොහෙද ඉන්නෙ කියල හිතල බලන්න. බුදු දහමට පහරපිට පහර ගහන වෙබ් සයිට් නරක විදිහට හැසිරෙනව. මේව ගැන හොයල බලන්න කවුරුවත් නෑ. ජනමාධ්‍යය ඇමැති කෙනෙකුත් ඉන්නවනෙ.
- ඔබ වහන්සේට තියෙන්නෙ පන්සලක්ද? ආශ්‍රමයක්ද?
v මට තියෙන්නෙ පන්සලක්. මේ ගැනත් අපි කතා කරන්න ඕන. දැන් හැමතැනම පේන්න තියෙන්නෙ ආශ්‍රම. අපේ දියවඩන නිලමේ කෙනෙක් ඉන්නව එයා කරන්නෙ පෙරහැර විතරයි. එහෙව් රටකනෙ අපි කතා කරන්නෙ. සර්වාගමික පූට්ටුවක් කියල එකක් තියෙනවනෙ ඒක අපි කොහොම හරි ගලවන්න ඕන. වර්තමාන අගමැති අනිවාර්යයෙන්ම මේකට වගකියන්න ඕන. නිසි ප්‍රමිතියක් නැතිව තැන තැන සංවිධාන බිහිවෙනවා. නිවන් දකින්න පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ.
- ඔබ වහන්සේ ඉන්නෙත් බුද්ධ රාජ්‍ය සංකල්පයේද?
v මේක බුදුන්ට පූජා කරපු රට. කියන්න ලැජ්ජයි අද වනතුරුත් බුද්ධ ශාසන අමාත්‍යංශය නිර්වචනය කරල නෑ රාජ්‍ය ආගම මොකක්ද කියල. යම් විදියකින් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයො කඩා වැටෙනවා නම් අපි ඒ ගැන සොයා බැලිය යුතුයි. කාටවත් ඕනෑ විදිහට මේක විකුණන්න බෑ මේක බුදුන්ට පූජා කරපු රට.
සංජක ප්‍රසාද් දොලේවත්ත
රජිත බස්නායක
http://www.mawbima.lk/55-7453-news-detail.html
0 comments:
Post a Comment