මසකට දින අටක් රැස්වන පාර්ලිමේන්තුව විවිධ අණ පනත් සම්මත කර ගන්නේය. එසේ සම්මත කරගනු ලබන බොහෝ අණ පනත් ගැන රට්ටුන්ට උනන්දුවක් නැති බව කීම මුසාවක් නොවේ. ඒ තමාට බලපාන නීතිරීති පිළිබඳ ගැඹුරින් හැදෑරීමට වඩා ෙදෙනික දිවියේදී මුහුණදිය යුතු ප්‍රශ්න රැසකින් රට්ටුන් හෙම්බත් වී සිටින නිසාය.
කෙසේනමුදු මෑතක සිට සම්මත වූ අණ පනත් ගැන පෙර නොවූ විරූ ලෙස රට්ටුන් අතර දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ. එක අතකින් එය හොඳ දෙයකි. මක්නිසාදයත් රටේ වෙන්නේ කුමක්දැයි රට්ටුන් දැනුවත්වන නිසාය.
කෙසේනමුදු මෑතක සිට සම්මත වූ අණ පනත් ගැන පෙර නොවූ විරූ ලෙස රට්ටුන් අතර දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ. එක අතකින් එය හොඳ දෙයකි. මක්නිසාදයත් රටේ වෙන්නේ කුමක්දැයි රට්ටුන් දැනුවත්වන නිසාය.
දිවි නැගුම පනත මෙන්ම හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයේදී ද ඒ බව මොනවට පැහැදිලි වූවේය. මේ සිද්ධීන් දෙකින් ඉක්බිතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත සංශෝධනයට ඉදිරිපත් වූ පනත් කෙටුම්පතය. මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළු වූ මොහොතේ සිටම දේශපාලන පක්ෂ, මානව හිමිකම් සංවිධාන ඇතුළු සිවිල් ක්‍රියාකාරීහු ඒ ගැන බොහෝ කතා කීවෝය.
අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත යන බර වචනයකින් හැඳින්වුවද නව සංශෝධන රට්ටුන් අතර ජනප්‍රිය වූයේ පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවෙකු පැය හතළිස්අටක් රඳවා ගැනීමේ නීතිය යනුවෙනි. ආණ්ඩුව මේ නීතිය ගෙනාවේ වසර කීපයකට පෙරදීය.
රටේ ශීඝ්‍රයෙන් වැඩි වූ අපරාධ රැල්ල මර්දනය කිරීමේ අරමුණින් එකල හුන් අධිකරණ ඇමැතිවරයා වූ ජෝන් සෙනවිරත්න කැබිනට් මණ්ඩලයට යෝජනා කළේ පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවකු පැය හැත්තෑ දෙකක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ඉඩ දිය යුතු බවය. එනමුත් කැබිනට් මණ්ඩලයේ යෝජනාව වූයේ පැය හතළිස් අටක් ඊට හොඳටම සෑහෙන බවය.
මේ නීතිය පාර්ලිමේන්තුවේ සම්මත වූයේ එය දෙවසරකට වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යළිදු වරක් ඊට අනුමැතිය ගත යුතුයැයි කොන්දේසියට යටත්වය. එනමුත් ඉකුත් කාලයේ වූ තාක්ෂණික දෝෂයන් හේතුවෙන් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ පනත අහෝසි වීමය. මේ නිසා අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත යළිදු වරක් ඉදිරිපත් කිරීමට සිද්ධ විය.
මේ පනත් කෙටුම්පතේ අරමුණු සඳහන් වන්නේ මෙසේය.
විමර්ශන පැවැත්වීම පහසු කිරීම සඳහා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබූ තැනැත්තන් රඳවා තබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද ඇතැම් නඩුවල දී ලඝු නොවුන පරීක්ෂණ පැවැත්වීම බැහැර කිරීම සඳහාද පැමිණිල්‍ලේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් සාක්ෂි ලබාගැනීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.
කෙසේ නමුදු එක්දහස් නවසිය හැත්තෑනවයේ අංක පහළොව දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ තිස් හය වැනි වගන්තියට අනුව පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවෙකු පැය 24 ක් ඉක්මවීමට පෙර මහේස්ත්‍රාත්වරයකුට ඉදිරිපත් කළ යුතුය. එවැනි නීතියක් දමා ඇත්තේ මහේස්ත්‍රාත්වරයකු දැනුවත්ව සැකකරුවෙකු රඳවාගෙන සිටන විට ඔහුගේ ජීවිතාරක්ෂාවට පොලිසිය වගකිව යුතු බැවිනි. ඊට පෙරද සැකකරුවෙකුගේ ජීවිතාරක්ෂාව සඳහා මහේස්ත්‍රාත්වරුන්ට මැදිහත්වීමේ අවස්ථාව තිබුණි. හැත්තෑ එකේ කැරැල්ලට සම්බන්ධව ආරක්ෂක අංශවලට ගත් තරුණ තරුණියන් සිය දහසක් මරා දැමුණද ජනතා විමුක්ති පෙරමුණේ මුල්පෙළේ නායකයකු වූ සුනන්ද දේශප්‍රියගේ ජීවිතය බේරුණි. ඊට හේතු වූයේ අම්බලන්ගොඩ පොලිසියේ තමා අත්අඩංගුවේ සිටින බවට අම්බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා පොලිසියට පැමිණ සටහන් තබා ගිය නිසා බව සුනන්ද දේශප්‍රිය වෛද්‍ය රුවන් එම්. ජයතුංගගේ 71 කැරැල්ල පොතට දුන් සාකච්ඡාවක සඳහන්ව තිබේ.
දැනට පවතින නීතියේ හැටියට පැය විසිහතරක් ඉක්මවීටම මත්තෙන් සැකකරුවෙකු මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ විට දින පහළොවකට නොවැඩි කාලයක් සඳහා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ඉක්බිතිව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු නම් ඔහු නැවත වරක් අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ට බන්ධනාගාරයට ගොස් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට හැකියාව තිබේ.
නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන මගහැර ගොස් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මාර්ග දෙකක් ආරක්ෂක අංශවලට තිබුණේය. එකක් හදිසි නීතිය යටතේය. අනෙක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. හදිසි නීතියක් රටේ දැන් නැති නිසා ඒ යටතේ අත්අඩංගුවට ගැනෙන්නේ නැත. එනමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට ඉඩ තවමත් තිබෙන මුත් යුද්ධය අවසන්වීමෙන් පසු එවැනි සිද්ධින් සුලබව වන්නේ නැත.
යුද්ධය අවසන්වීමෙන් සිවු වසක් කිට්ටුවන අවස්ථාවක මේ සා කාලයක් (පැය 48ක්) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ඇති අවශ්‍යතාව කුමක්දැයි උද්ගත වී තිබෙන ගැටලුවකි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයකු වන ආචාර්ය ප්‍රතිභා මහානාම ද පවසන්නේ සැකකරුවෙකු පැය හතළිස් අටක් රඳවා ගැනීමේ නීතියට තමාද විරුද්ධ බවය.
නීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා. එය ප්‍රශ්න කරන්න බෑ. නමුත් නව නීතිය ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මට පටහැනියි. මේ නිසා අනිසි ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිද්ධ වේවි. මේ නීතිය නිසා ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදී ප්‍රශ්නයක් ඇතිවේවි. මොකද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන සංහිඳියා කොමිසමේ වාර්තාවේ නිර්දේශවල තිබෙන්නේ මීට වඩා පරස්පර යෝජනාවක්. එම යෝජනා හැදුවේ අපේ නිර්දේශය අනුවයි. අප කීවේ යම්කිසි සැකකරුවෙකු අත්අඩංගුවට පත් වූ වහාම හැකි ඉක්මනින් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතුයි කියලා. රජයත් එම නිර්දේශ පිළිගෙන තිබුණා. හැබැයි මේ නව නීතිය අවංකව ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රශ්නයක් වන්නේ නෑ. ආචාර්ය ප්‍රතිභා මහානාම පෙන්වා දෙන්නේය.
කෙසේනමුදු එජාපය, ජවිපෙ පෙරටුගාමී පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ නියෝජිතයන් කියන්නේ ආණ්ඩුව මේ නීතිය ගෙනාවේ සිය පාක්ෂිකයන් අත්අඩංගුවට ගෙන ඔවුන් හිංසාවට ලක්කර මහජන විරෝධය මැඩලීමේ අරමුණින් බවය. එනමුත් අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධන ඉකුත් විසිහතරවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා කීවේ නව පනත නිසා සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට හැකිවනු ඇති බවය.
කෙසේ නමුදු නව නීතිය යටතේ වරදවල් දහතුනක් හා වරදකට අනුබල දීම හා වරද කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පැය හතළිස් අටක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හැකියාව ලැබේ. මිනීමැරීම, මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, මිනීමැරීමට තැත්කිරීම, මිනීමැරීම සඳහා අපහරණය කිරීම හෝ පැහැරගෙන යාම, අයුතු ලෙස සිරකර තැබිමේ ච්ෙතනාවෙන් යම් තැනැත්තකු අපහරණය කිරීම හෝ පැහැරගෙන යාම, බරපතළ තුවාල කිරීම ආදිය සඳහා යම් තැනැත්තෙකු අපහරණය කිරීම හෝ පැහැරගෙන යාම, අපහරණය කරන ලද තැනැත්තන් සඟවා තැබිම හෝ හිරකර තැබිම, ස්ත්‍රී දූෂණය, සොරකම, මරණය කිරීමට සූදානම් වීම ආදිය, මරණය හෝ බරපතළ තුවාල කිරීමට තැත්කර කොල්ලකෑම, මාරක ආයුධවලින් සන්නද්ධව කොල්ලකෑමට තැත්කිරීම, ඉහත සඳහන් වැරැදිවලින් යම් වරදක් කිරීමට තැත් කිරීම,
පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පීඩාකාරී ආයුධ භාවිතා කිරීමෙන් හෝ තුවක්කු භාවිතා කිරීමෙන් කරන ලද යම් වරදක් යන කාරණාය. මේ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන සැකකරුවෙකු වැඩිදුර විමර්ශන සඳහා පැය හතළිස් අටක් රඳවාගැනීමට අවශ්‍ය නම් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ සිට ඉහළ නිලධාරියකුගේ ඉල්ලීම මත මහේස්ත්‍රාත්වරයෙකුට කාලසීමාව දීර්ඝ කිරීමට නව පනත යටතේ බලය ලැබි තිබේ. මේ වගන්තියට අනුව කාලය දීර්ඝ කිරීමේ බලය ඇත්තේ මහේස්ත්‍රාත්වරයාටය. පොලිසිය කරන ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයකුට හැකිදැයි සඳහන්වන්නේ නැත. එමෙන්ම සැකකරුවෙකු තවදුරටත් රඳවා තබාගැනීමේදී ඔහු මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ යුතු ද නැද්දැයි පැහැදිලි වගන්තියක් නැත. පොලිසියේ කෙරුවාව දන්නා ඕනෑම අයෙකු මේ කාරණාව ගැන සැකසංකා ඇතිකර ගැනීම සාධාරණය.
සැකකරු මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීම ගැන නිශ්චිත වගන්තියක් නොමැති වීම එහි දුර්වලතාවක්. එනමුත් යම් සැකකරුවෙකු පොලිසියේ රඳවාගෙන ඔහුට වධහිංසා දෙන බවට අපට පැමිණිලි කළහොත් ඒ ගැන වහාම පරීක්ෂා කරන්න අපට පුළුවන්. මේ පනත ගෙනාවේ සැකකරුවෙකු වැඩි කාලයක් රඳවා ගැනීමටයි. පොලිසියේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමේ, එනම් සැකකරුවෙකු පැය හතළිස් අටක් රඳවා සිටීමට අනුමැතිය නොදීමට අභිමතානුසාරී බලයක් මහේස්ත්‍රාත්වරයාට දීලා නෑ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා කියන්නේය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පැය හතළිස් අටේ නීතිය වෙනුවට කළ යුතුව තිබුණේ මහජන සහය දිනාගෙන සාක්ෂි එකතුකිරීම මෙන්ම විද්‍යාත්මක සාක්ෂි මගින් අපරාධ ඔප්පු කිරීමේ දියුණු ක්‍රමවේද ගැන මීට වඩා අවධානය යොමුකිරීම බවය. එසේ නැතිව මානව හිමිකම් ගැටලු උද්ගතවී තිබෙන මෙවැනි මොහොතක පැය හතළිස් අටේ නීතිය අනවශ්‍ය ප්‍රශ්නයක් බවද ආචාර්ය ප්‍රතිභා මහානාම කීවේය.
කෙසේ නමුදු නව පනතේ ඇත්තේ පැය හතළිස්අටේ නීතිය පමණක් නොවේ. මතෛක් පැවැති නීතිය අනුව යම් වරදක් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික සාක්ෂි විභාගයකින් ඉක්බිතිවය. එනමුත් නව නීතිය යටතේ මහජන නොසන්සුන්තාවක් පැන නගින අවස්ථා ඇතුළු වැරදි කීපයක් සම්බන්ධයෙන් මූලික සාක්ෂි විභාගයක් නොපවත්වා කෙලින්ම අධිචෝදනා පත්‍ර මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට බලය ලැබේ. මේ ගැන අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා කියන්නේ මූලික සාක්ෂි විභාග පැවැත්වීමට විශාල කාලයක් වැයවන බැවින් අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාද වන බවය. එනමුත් ජනතා විමුක්ති පෙරමුණේ මතය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව දැන් ඇත්තේ ජනාධිපතිවරයා යටතේ බැවින් ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන්නන් මර්දනය කිරීමට මේ වගන්තියෙන් බලය ලැබි ඇති බවය.
අපරාධ රැල්ල මර්දනය කිරීමට යැයි කියමින් ආණ්ඩුව අපරාධ නඩු විධාන සංග්‍රහයට තවත් විශේෂ විධි විධාන රැසක් එකතුකර තිබේ. මෙම පනත ක්‍රියාත්මකවී අවුරුදු දෙකක් ගතවූ කල්හි එය නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ගත යුතුය.
ආණ්ඩුව දිගින් දිගටම කියන්නේ නව නීතිය ගෙනාවේ අපරාධ රැල්ල මැඩලීමේ අරමුණින් බවය. ඒ කතාව අනුව පොලීසියට මතෛක් අපරාධ මර්දනය කිරීමට අපහසු වූයේ ප්‍රමාණවත් නීති නැති නිසා බවය. එනමුත් රටේ කුමන නීති තිබුණද හොරකම් කරති. අල්ලස් ගනිති. මිනී මරති. කුඩු විකුණති. ස්ත්‍රීන් දූෂණය කෙරෙති. එවැනි වරදවල් කර ඇති අයට අධිකරණයේ ඉදිරිපත්වූ අධිචෝදනා රැසක්ම නීතිපති දෙපාර්තමේන්තුවම ඉකුත් කාලයේ ඉල්ලා අස්කර ගත්තේය. අල්ලස් හා දූෂණවලට, මිනීමැරුම්වලට වරදකරුවන් වූ දෙතුන් දෙනෙකුට ජනාධිපති විශේෂ සමාවද ලැබුණි. එසේ චෝදනා ඉල්ලා අස්කරගත්, සමාව ලැබූ සියල්ලෝම දේශපාලනඥයෝය.
එසේ නම් මේ නීතිය, අධිකරණය හා විනිසුරුවන් ක්‍රියාත්මක කරන්නේ සාමාන්‍ය පුරවැසියන් වෙනුවෙන් පමණදැයි ප්‍රශ්නාර්ථයකි.
මිහිරි ෆොන්සේකා
0 comments:
Post a Comment