Feb 3, 2013

පෘථිවියෙන් පිටත ජීවීන් ඇති බවට ලැබුණු පළමුවන සාක්‍ෂිය ලෝකයට ඉදිරිපත් කරන්නේ ශ‍්‍රී ලංකාවේ අරලගංවිල වැසියන්


සෑම මසකම පාහේ පසළොස්වක ‍පොහෝ දිනයේත් ඊට ආසන්න දිනවලත් අරලගංවිල දේවගල ප්‍රදේශයේ සිට ඓතිහාසික දිඹුලාගල පර්වතය දෙසට  රාත්‍රී කාලයේ දී විවිධ ප්‍රමාණයෙන් යුත් අරුම පුදුම එළි ගමන් කරන බව අදටද එම ප්‍රදේශයේ මිනිසුන්ට පුදුමයක් නොවේ. එම එළි දෙස මහත් ශ්‍රද්ධාවෙන් බලා සාධුනාද දෙන බැතිමතුන්ද විරල නොවේ. දේවතාඑළි ලෙස ගම්මුන් හඳුන්වන මේ එළි ගැන ඔවුන්ට ඇත්තේ සිත උතුරා යන භක්තියකි. එහෙත් එම භක්තියට එහා ගිය සැක මුසු බියකින් හා චකිතයකින් දැන් එම ප්‍රදේශවල ජනතාව පසුවෙති. ඉකුත් දෙසැම්බර් 29 දා රාත්‍රියේ සිය කුඹුරුයායේ පැළ ගොයමට දිය බැඳීමට ගිය ගොවීන් පිරිසක් තම කුඹුරු යායට දීප්තිමත් එළි විහිදුවමින් පතිත වූ කිසියම් වස්තූන් සමූහයක් නිසා භීතියට පත් වූහ. ඉක්බිති තමන් ගිය වැඩය පසෙකලා ආපසු නිවෙස් බලා දිවූහ.

අරලගංවිල කුඩාවැව කුඹුරු යායට මෙසේ පහත් වූ එළි මොනවාදැයි දැක ගනු රිසින් ගම්මු පසුදා කුඹුරු යායට යන විට ගොයම පිළිස්සී ගොස් තිබූ අතර කිසියම් පාෂාණ කැබලි ප්‍රමාණයක් කුඹුරේ වැටී ඇති බව නිරීක්ෂණය කළහ. වහා යුහුසුළු වූ එම පිරිස පාෂාණ කැබලි පිළිබඳව අපටද තොරතුරු දැන්වූහ. වහා එහි ගිය අපට ලොකු කුඩා බොහෝ දෙනා අසුලා ගන්නා ලද පාෂාණ කැබලි පෙන්නූහ.

ඓතිහාසික ධූමරක්ඛ පබ්බතය ආශ්‍රිත මේ භූමිය වසර දහස් ගණනක් තිස්සේ අපේ ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ ස්ථානයකි. මේ අරුම පුදුම පාෂාණ කැබලිත් සමග එම සටහන් අලුත් කරන්නට සමත් වී ඇති බැව් පෙනේ. ධූමරක්ඛ පබ්බතය බුදුන් වහන්සේ මහියංගණයට වැඩි කාලයටත් එහා ප්‍රාග් ඓතිහාසික යුගය දක්වාම ප්‍රසිද්ධව ඇත්තේ යක්ෂ ගෝත්‍රික ප්‍රජාවක් වාසය කරන භූමියක් ලෙසිනි. මහියංගණයෙන් පල්ලම් බැස්ස යක්ෂ ගෝත්‍රිකයන් සේන්දු වූයේ ධූමරක්ඛපබ්බතය දෙසටය.

පණ්ඩුකාභය කුමාරයාට රැකවරණය සැලසූ යක්ෂ ගෝත්‍රිකයන් සිටියේද  මේ අඩවියේය. අනුරාධපුර, ‍පොළොන්නරු රාජධානි සමයේ මහා ධර්ම පර්යේෂණායතනයක් බවට ප්‍රසිද්ධ වූ මෙම ප්‍රදේශය අනාදිමත් කාලයක සිට අමුතු  අමුතු එළි රාත්‍රි කාලයේ සැරිසරන භූමියක්ව තිබේ.දැන් ඒ එළි පිළිබඳව ලොව පුරා කතාබහට ලක්වෙන්නට පටන් ගෙන තිබේ. මෙසේ දිඹුලාගල පර්වතයට යාබදව පිහිටි කුඹුරුයායට වැටුණු පාෂාණ කැබලි පිළිබඳව මුල්ම හෝඩුවාව මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමගම අරලගංවිල ‍පොලිසිය විසින් එම පාෂාණ කැබලි අහුලාගත් මිනිසුන්ගෙන් රැගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති හා භූගර්භ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත්, නාසා ආයතනය ටත් එංගලන්තයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාටත් යොමු කර තිබේ.

මෙරට දී සිදු කෙරෙන පර්යේෂණවලට අමතරව විදේශීය නවීන පර්යේෂණාගාරවලදී දිඹුලාගල කුඩාවැව වෙල්යායට  වැටුණු පාෂාණ කැබලි පිළිබඳව පර්යේෂණ  දියත් වෙද්දී බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ පර්යේෂණ ආශ්‍රයෙන් හෙළි දරව් වූ කරුණු රැසක් කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා විසින් මාධ්‍ය වෙත හෙළිදරව් කළේය. 

එම උල්කාපාත කැබලිවල ඇති අරුම පුදුම ක්ෂුද්‍ර ජීවීන් කොටසක් සිටින බවත් එම පාෂාණ කැබලි පෘථිවියට පිටතින් ආ ඩයටම (Diatoms) බවත් තහවුරු වී ඇති බවට කළ එම හෙළිදරව්වෙන් මතෛක් පෘථිවියෙන් පිටත ජීවීන් සිටින බවට ලැබුණ ප්‍රථම සාක්ෂිය ලෙසද එය ඉතිහාස ගත විය.

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා විසින් කළ මෙම පර්යේෂණයේ මුල් අවස්ථාවේදී අරලගංවිල දිඹුලාගල පර්වතයට යාබද කුඹුරු යායට වැටුණ මෙම පාෂාණ කැබලිවල ක්ෂුද්‍ර ව්‍යුහය හා හැඩය පරීක්ෂා කළ විට එහි ඩයටම (Diatoms) ඇති බවත් පිටත ආවරණය ශක්තිමත් සිලිකන් මූලද්‍රව්‍යවලින් සෑදී ඇති බවත් තහවුරු වූ බව
විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසා තිබුණි. එමෙන්ම එම පාෂාණ  කැබලි යොදාගෙන කාෆිඩ්  විශ්වවිද්‍යාලයේ ඉලෙක්ටේ‍රා්න අන්වීක්ෂයකින් කරන ලද පර්යේෂණයකින් මේ බව තහවුරු වූ බවත් එම පාෂාණ කැබලිවල ඩයටම පාෂාණ භූත වී තිබිම නිසා පෘථිවියේ ජීවය හෝ වස්තූන් සමග සංකලනය වීමක් සිදුවී නැති බවද අවධාරණය කරයි.
27-2
කෙසේ වෙතත් මෙම හෙළි දරව්වත් සමග පෘථීවියෙන් පරිබාහිරව ජීවයක් හමුවූ ප්‍රථම සාක්ෂිය හෙළිදරව් කළ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ සම නිර්මාතෘත්වය දරන උල්කාශ්ම හා ඇස්ටරොයිඩ මගින් ග්‍රහලෝක අතර ජීවය පැතිර යන්නේය යන පැන්ස්පර්මියා න්‍යායටද ප්‍රායෝගික උදාහරණයක් සපයා ඇත.
27-3
මෙම පර්යේෂණය සඳහා ලොව පුරා තාරකා විද්‍යාඥයින් මෙන්ම භූගර්භ හා මානව පරිණාමයපිළිබඳව  කීර්තියක් උසුලන විද්වතුන් රැසක්ම විවේචන එල්ල කර ඇතත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ තාරකා  විද්‍යාඥ මහාචාර්ය රිචඩ් බි. පූවර් මහතා එංගලන්තයට පැමිණ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා සමග එක්ව වැඩිදුර පරීක්ෂණ  ආරම්භ කිරීම සතුටට කරුණකි.  එම මහාචාර්යවරුන් දෙපළගේ පර්යේෂණවල ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගිය සතියේ කියා ඇත්තේ මෙම උල්කාපාත කැබලිවල සිටින අරුම පුදුම ක්ෂුද්‍ර ජීවින් පෘථිවියේ කොතැනක වත් මතෛක් හමු වී නොමැති බවත් එම ක්ෂුද්‍ර ජීවින්ගේ ස්වරූපය පුදුම උපදවන සුළු බවත් එම පර්යේෂණවලින් අනාවරණය වී ඇති බවයි.

මෙම හෙළිදරව් පිළිබඳව අපේ රටේ ප්‍රාමාණික විද්වතුන්ගෙන්ද  විමසා  බැලීමට  අපි  කටයුතු  කළෙමු. අරලගංවිල දිඹුලාගල කන්ද පාමුල කුඩාවැව වෙල්යායේ මෙම අරුම පුදුම උල්කා කැබලි ඇහුලූ ටිකිරි බණ්ඩා ගොවි මහතා ඇතුළු පිරිස එම කැබලි පසුගිය 30 දා ‍පොහොර උරයකට එකතු කර ගත් පාෂාණ කැබලි විසි පහක් තිහක් පමණ අරලගංවිල ‍පොලිසියට භාර දී තිබේ. ඉන්පසු අරලගංවිල ‍පොලිසියේ ස්ථානාධිපති ‍පොලිස්  පරීක්ෂක ලලිත් රාජමන්ත්‍රි මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති භූ ගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩායමකට භාර දීමෙන් පසු ඒ පිළිබඳව මෙරට දී ද පර්යේෂණ දියත් විය. එසේ වුවත් තාරකා විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් ඇති ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රධානි කොළඹ විශ්ව විද්‍යාලයේ  භෞතික විද්‍යාව පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දන ජයරත්න මහතා මේ පිළිබඳව දරන්නේ වෙනමම අදහසකි.

දිඹුලාගල ගල ආශ්‍රිත වැටුණාය කියන පාෂාණ කැබලි අපට ලැබුණා. ඒවා නම් උල්කාශ්ම කැබලි ‍නෙවෙයි. එම පර්වතයේම පාෂාණ කැබලි. කොහොම වුණත් දෙසැම්බර් 29 දා කුඩාවැව කුඹුරු යායට වැටුණාය කියන පාෂාණ කැබලි අපට ලැබුණෙ නෑ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තමයි එම පාෂාණ කැබලි ලැබි තිබුණෙ. කොහොම වුණත් අපට ලැබි තිබෙන තොරතුරු අනුව මෙම පාෂාණ කැබලිත්  වෙල්යායේ පස් අතරත් ගැළපීමක් තිබෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක 30000 ක් විතර  උෂ්ණත්වයක් නිකුත් වන අකුණක් වැදීම හේතුවෙන් මෙවැනි  පාෂාණ කැබලි ඇති විය හැකියි. කොහොම වුනත් මේ අමුතුම ආකාරයේ තොරතුරක් ගැන ගැඹුරින් අධ්‍යයනය නොකර පැහැදිලි   ප්‍රකාශයක් කරන්න බැහැ. යැයි ආචාර්ය චන්දන ජයරත්න මහතා කියන්නේය.

කෙසේ වෙතත් මෙම පාෂාණ කැබලි පිළිබඳ පර්යේෂණ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති භූ ගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා සම්බන්ධ කර ගැනීමට අපගත් සියලු උත්සාහයක් ව්‍යර්ථ වී ගියේය. ඒ මහතා විශේෂ රැස්වීම් කිහිපයක යෙදී සිටි නිසා කතා කළ නොහැකි විය.
ලොව පුරා තාරකා විද්‍යාඥයන්ගේත් භූ ගර්භ විද්‍යාව මානව පරිණාමය පිළිබඳ විද්වතුන් අවධානය යොමු කොට ඇති  මෙම පාෂාණ කැබලි පිළිබඳව නිරවුල් සහ අනන්‍ය අදහසක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව කාගේත් අදහස වී තිබේ.  ඒ සඳහා මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය  කළ යුතුය. විවිධ විවේචකයින් ගෙන් එල්ල වන විවේචනවලට සාර්ථක පිළිතුරු සහ සත්‍ය ගවේෂණය සඳහා දිඹුලාගල ආශ්‍රිත ගැඹුරු  පර්යේෂණ හා අධ්‍යයන සිදුකිරීම අත්‍යවශ්‍යය. එහි පාෂාණ ව්‍යුහ පිළිබඳවත් විශේෂයෙන්ම රාත්‍රි කාලයට දිඹුලාගල පර්වතය ආශ්‍රිතව සැරිසරන ආලෝක ධාරා පිළිබඳවත් ගැඹුරින්  අවධානය යොමු කළ යුතුය.

පිට සක්වල ජීවීන්ගේ ප්‍රථම සාක්ෂිය සටහන් වූ මේ බිමේ පර්යේෂණාගාරයක් ඉදි කළ හොත් තවත් වසර කිහිපයක් ඇතුළත රාත්‍රි අහසේ සැරිසරන්නේ යැයි කියන දේවතාඑළි සහ විටින් විට කඩා හැලෙන උල්කාපාත කැබලි යැයි කියන පාෂාණ පිළිබඳවත් පර්යේෂණ දියත් කළ හැකිය. මීට වසර කිහිපයකට ඉහත දී ද දිඹුලාගල ට එවැනි උල්කා කැබලි වැටුණ බවට මාධ්‍ය වාර්තා පළ විය. එබැවින් ලෝකයටම අලුත් ඉසව්වක්  පිළිබඳව අධ්‍යයනය කළ හැකි සුවිශේෂ භූමිභාගයක් ලෙස මෙම ප්‍රදේශය හඳුනාගත හැකිය. එහෙත් එය තවත් බර්මියුඩාවක් නොකොට වඩාත් විවෘත දෙස් විදෙස් විද්වතුන් සඳහා වන පර්යේෂණාගාරයක් සේම විද්‍යාර්ථීන් උදෙසාත් මාධ්‍යවේදීන් උදෙසාත් විවෘත වූවක් විය යුතුය. එවිට කුඩා වැවේ ටිකිරි බණ්ඩා ගොවි මහතාත් ප්‍රදේශවාසීනුත් බියකින්  චකිතයකින් හා කුතුහලයකින් වෙලාගත් මහා ගැටලුවකට පිළිතුරු සොයා ගැනීම පහසු වන්නේය. එය පෘථිවියේ ජීවීන්ට පිටසක්වල ජීවීන් හා සමීප විය හැකි අලුත්ම පර්යේෂණාගාරයක් වනු ඇත යන්න අපගේ විශ්වාසයයි.
ප්‍රියන්ත බණ්ඩාර 

0 comments:

Post a Comment