Mar 17, 2013

වෙන්දේසියේ විකිණුනු ෆීජි ගෝත්‍රිකයන්ගේ මිනී මස් කෑමේ මෙවලම්


09-2දහනමවන ශත වර්ෂයේ විසූ ෆීජි ගෝත්‍රිකයන් සිය සතුරු හමුදාවල සෙබළුන්ගේ මිනීමස් කෑම සඳහා භාවිතා කරන ලද හැඳි හා ගෑරුප්පු කට්ටලයක් පසුගිය දිනකදී බ්‍රිතාන්‍ය පවුම් තිස්දහසක මිලකට වෙන්දේසි වූයේ ඒවායේ රුදුරු පෙනුම පිටුපස සැඟවුණු බිහිසුණු අතීතය ගැනුම්කරුවන්ගේ ලංසු තැබිම්වලට බාධාවක් නොවූ බව මොනවට ඔප්පු කරමිනි. උල් වූ තියුණු කෙළවරවල් සහිත මෙම ගෑරුප්පු ගෝත්‍රික නායකයින් විසින් භාවිතා කොට ඇත්තේද සුවිශේෂිතම අවස්ථා සඳහා පමණක් නිසා ඒවායේ වටිනාකම ඉහළය.

සතුරන් මරා දැමීමෙන් පසුව ඔවුන්ගේ සිරුරු ජයග්‍රාහී ගෝත්‍රිකයන්ගේ ගම් පෙදෙස් කරා ගෙනෙනු ලදුව පරිවාර ගෝත්‍රිකයන් විසින් කැබලි කොට සිය නායකයන් වෙත ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රදානය කොට ඇත්තේ මෙම ගෑරුප්පු භාවිතයෙනි. අඟල් 16-17 දක්වා දිගකින් යුතු මෙම ගෑරුප්පු සෑම එකක්ම පාහේ තියුණු උල් හතරකින් කෙළවර වී ඇත්තේ ඒවාට මාරාන්තික බිහිසුණු පෙනුමක් ලබා දෙමනි. එකී මෙවලම්වල බිහිසුණු අතීතය කියාපාන රූපීය සාක්ෂ්‍යය වනුයේ ඒවා සතු මාරක තියුණු උල් සහිත කෙළවරවල් බවට විවාදයක් නැත. මීට විසි වසරකට පෙරදී මෙම ගෑරුප්පු එකතුව මිලදී ගෙන ඇත්තේ, මධ්‍යකාලීන ආයුධ හා ගෝත්‍රීය කලා කෘති එකතු කරන්නෙකු විසිනි. ආරම්භයේදී එහි මිල තක්සේරු කොට තිබි ඇත්තේ බ්‍රිතාන්‍ය පවුම් එක්දහස් හයසීයකට වුවද, ගැනුම්කරුවන් අතර එහි බිහිසුණු ආකර්ෂණීය භාවයට කෙතරම් ඉහළ ඉල්ලුමක් තිබුණේදයත් අවසානයේදී එය වෙන්දේසි වූයේ පවුම් තිස්දහසක් වැනි ඉතාමත් ඉහළ මිලකටය. ගෑරුප්පු කට්ටලයේ මුල් හිමිකරුවා විසින් එය මිලදී ගෙන ඇත්තේ මිඩ්ලන්ඩ් ප්‍රදේශයේ විසූවෙකුගෙන් බව කියැවෙන මුත් ඊට පෙර එහි අතීතය පිළිබඳව තොරතුරු කිසිවක් අනාවරණය වී නැත. ගෑරුප්පුවල තඹ මල බැඳී ඇති ආකාරය හා වර්ණයේ සිදුව ඇති වෙනස්කම් අනුව ඒවා ඉතා ඈත අතීතයක විසූ ම්‍ලේච්ඡ ගෝත්‍රිකයන්ගේ බිහිසුණු බව සඟවා ගත් අතීත සිහිවටනයක් වන අතර එකම පුද්ගලයෙකු සතුව ගෑරුප්පු හතකින් යුතු කට්ටලයක් තිබිම ඇත්තෙන්ම පුදුම සහගත බව ‘මාර්ටෙල් මෙයිඩ්ස්’ වෙන්දේසිකරුවන්ගේ අධ්‍යක්ෂ ජේම්ස් බ්‍රිජ්ගේ අදහසයි.09-1ගෝත්‍රික නායකයන් හා වැඩිහිටියන් හට තමන් විසින්ම ආහාර බුක්ති විඳීමට අවසරයක් නොතිබූ හෙයින් උපස්ථායකයින් විසින් ඔවුන්ට ආහාර කැවීමේ සම්ප්‍රදායක් ෆීජී ගෝත්‍රිකයන් අතර ප්‍රකටව තිබි ඇත. ගෑරුප්පු නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත්තේ එහෙයිනි. කෙසේ වතුදු සිය සතුරන්ට අවමන් කිරීමක් ලෙස ඔවුන්ගේ මිනී මස් බුදීමේ සම්ප්‍රදාය ෆීජී ගෝත්‍රික නායකයන් පමණක් නොව ගෝත්‍රයේ සෙසු සාමාජිකයන් විසින්ද අනුගමනය කරන ලද චාරිත්‍රයකි. ගෑරුප්පු භාවිතය සිදුව ඇත්තේ නායකයන් අතර පමණක් වන අතර ගෝත්‍රික නායකයාගේ බලය හා තරාතිරමද හඟවන සංකේතයක් ලෙස සැලකුණු මේවා භාවිතයෙන් පසුව දුම් ගස්වන ලද පැල්පත් තුළ තැන්පත් කිරීමක්ද සිදුව තිබේ.

ප්‍රියන්ති රුද්‍රිගු 

0 comments:

Post a Comment