Jun 10, 2013

කොටියාගේ කඩු පහරින් ‍පොඩි හාමුදුරුවන්ගේ හිස දෙපලු වුණා (ප්‍රහාරයෙන් දිවි ගලවාගත් භික්ෂුවකගේ බිහිසුණු අත්දැකීම්)

කොටියාගේ කඩු පහරින් ‍පොඩි හාමුදුරුවන්ගේ හිස දෙපලු වුණා

Aranthalawa-masscප්‍රහාරයෙන් දිවි ගලවාගත් භික්ෂුවකගේ බිහිසුණු අත්දැකීම්
දහසක් බුදුන් බුදු වන හිමිදිරි යාමේ මහාවාපී විහාරය අබියස පෙනුණේ පහන් සංවේගය උපදවන ප්‍රිය දසුනකි.  කහ සිවුරු ‍පොරවා ගත් බුදු පුත්තු තිස් හතළිස් නමක් එක පේළියට සැදී වඩිමින් හුන්නාය. උන්වහන්සේලා බහුතරය පැටි වයසේ සිටි සාමණේරයන් වහන්සේ වූහ. දුර ගමනක්  යාමට සැරසෙන්නැයි නායක හාමුදුරුවන් කී මොහොතේ සිට උන්වහන්සේ හුන්නේ මහත් වූ සොම්නසකිනි. ඒ පැටි වයසේ හැටිය. සාමණේරයන් වහන්සේ වුවත් ඔවුහු නොදරුවෝය. දුර ගමන් යාමට දරුවෝ බොහෝ කැමැත්තෝය. ඒ දුර ගමන අරන්තලාවේදී ජීවිත ගමනින්ම නිම වෙතැයි සාමණේරයන් වහන්සේගේ පුංචි  හිත්වලට එදා සිතුණේ නැත.

අම්පාර මහාවාපී විහාරයේ වැඩ හුන් සාමණේරයන් වහන්සේ  වැඩීමට නියමිතව හුන්නේ  කතරගම වන්දනා ගමනකි. කතරගම යන අතරතුරේදී දළදා වහන්සේ වැඳ පුදාගෙන කළුතර බෝධීන්  වහන්සේගේ  ආශිර්වාදය ගෙන පිණ්ඩපාත චාරිකාවෙන් කතරගම ගම් උදාවට වැඩම කිරීම චාරිකාවේ සැලසුම විය. 
 
 දිනය එක් දහස් නමසිය අසූ හතේ  ජුනි  දෙවැනිදාය. වේලාව උදේ හයට  පමණ ඇත. මහාවාපීි විහාරය දොරකඩ ඉදිරිපිට ලංගම බසයක් නතර විණි. ඒ බසය අයත් වූයේ  අම්පාර ඩි‍පෝවටය. හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ තුණුරුවන් සිහි කරමින්  බසයට නැග්ගේ කතරගම යාමේ අටියෙනි.  අතරමගදී මාරයා මග බලා සිටින බවක් ඉන්ද්‍රසාර නායක හාමුදුරුවෝ සිහිනෙන්වත් නොසිතූහ. එනමුත්  මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නොදන්නා  කාරණාවක්  වෙමින් තිබුණේය. ඉන්ද්‍රසාර නායක හාමුදුරුවන් ප්‍රමුඛ සඟරුවනේ වන්දනාගමන යන දිනය හා වේලාව එල්.ටී.ටී.ඊ. යේ එවකට අම්පාර හා  මඩකළපුවේ සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන්ට  ඔත්තුකරුවන්  මගින්  දැනගන්නට ලැබි තිබුණේය. අහස ‍පොළොව Aranthalawa-massc1නුහුලන ආනන්තරීය පාපකර්මයක සැලසුම ඇරඹුනේ එම ඔත්තුවත් සමගය. සන්නද්ධ කොටි සාමාජිකයෝ භික්ෂූන් වහන්සේ වැඩි බසය එනතුරා අරන්තලාවේ මග රැක හුන්නෝය.
අරන්තලාව පිහිටා ඇත්තේ අම්පාර මහඔය ඒ  විසිහත ප්‍රධාන පාරේය. යුද්ධය පැවැති කාලයේ ඒ බිම ප්‍රසිද්ධියට පත් වී තිබුණේ එල්.ටී.ටී.ඊ. යේ තර්ජනයට ලක් වූ ගමක් ලෙසය. බුදු පුතුන් රැගත් බසය අරන්තලාවට පැමිණෙන විට වේලාව උදේ හයයි තිහට පමණ ඇත. බසයේ ඉදිරිපස ආසනයේ වැඩ  හුන්නේ අම්පාර මහාවාපී විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හෑගොඩ ඉන්ද්‍රසාර නායක හාමුදුරුවෝය. ඉදිරියේ  සිට දෙවැනි  අසුනේ හුන්නේ අම්පාර  විද්‍යානන්ද පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති වලල්ලාවිට විමලඥාන හාමුදුරුවෝය. අරන්තලාවේ පාර දෙපස ඇත්තේ ඝන වනයය. වනය දෙපළු කරමින් පැමිණි දෙතුන් දෙනකු  පාර අයිනේ  නතර වී සිටින අයුරු රියැදුරා දුරතියාම දුටුවේය.  කැලෑ ඇඳුම් ඇඳගෙන ආයුධ සන්නද්ධව හුන් ඔවුන් හමුදා භටයන් යැයි රියැදුරා සිතුවේය. ඒ තර්ජනයට ලක්ව තිබෙන මහඔය පාර රකින්නට මග දෙපස හමුදා භටයන් සිටීම මීට පෙරද ඔහු දැක ඇති බැවිණි.
 
එකවරම කැලෑ ඇඳුම් ඇඳගත් එක් අයෙකු පාරට පැන තුවක්කුව ඔසවා බසය නතර කරන්නැයි  රියැදුරාට සංඥා කළේය. ඔහු තිරිංග තද කළේය. තමාට වැරදුණු බව රියැදුරාට වැටහුණේ එවිටය. අවිදරා හුන්නේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ය. ඔවුහු  බසයට ගොඩ වූහ. එක් අයෙක් රියැදුරාගේ කන ළඟට ටී. පනස් හය තුවක්කුවේ බටය තැබුවේය. අරන්තලාව පාරේ විසි අටේ කණුව අසලින්  කැලෑවට තිබෙන ට්‍රැක්ටර් පාර දිගේ බසය ධාවනය කරවන්නැයි රියැදුරාට අණ කළේය. සිද්ධ වන්නේ කුමක්දැයි නොදරුවන් වූ පුංචි සාමණේරවරුට නොතේරුණහ.  සමහරුන් පසු වූයේ  වයස අවුරුදු අටේ දහයේ් පමණය. ඔවුහු බියෙන් තැතිගෙන කෑ මොර දෙමින් හැඬුහ. ඒ හැඬුම සිත් පිත් නැති ගල් හිත් ඇති කොටින්ට නොඇසුණි. ප්‍රධාන පාරෙන් හැර වූ බසය වනය ඇතුළටම ධාවනය කරවන්නැයි කොටි නියම කළහ. මහ පාර නොපෙනෙන තෙක් දුර ගොස්  බසය නතර වූයේ ඉරුම් පට්ටලයක් අබියසය. එහි කඩු කැති ‍පොලු මුගුරු රැගත් කොටි  දහ පහළොස් දෙනෙක් හුන්හ. ඔවුන්ට ලැබි තිබුණේ පැහැදිලි අණකි. බසය නතර කරනවාත් සමග බියට පත්ව හුන් කුඩා සාමණේර හිමිනමක්  පැන යන්නට පා පුවරුවට පය තැබුවා පමණි.  බිම හුන් කොටියාගේ අත තිබූ කඩුව  ඒ හිමියන්ගේ ඔළු කට්ට පලාගෙන කිඳා බැස්සේය. ඒ අතර තවත් කොටියකු රියැදුරාගේ හිසට  තුවක්කුවක් එල්ල කර මනි මනි යැයි  කෑමොර දුන්නේය. ඔහු මුදල් පසුම්බියත් ඔරලෝසුවත් ගලවා දුන්නේය.මට දරුවන් හය දෙනෙක් ඉන්නවා. මාව මරන්න එපා.යැයි ඔහුට වචන කියා ඉවර කරන්නට ඉඩ ලැබුණේ නැත. කොටියාගේ ගිනිඅවියෙන් පත්තු වූ වෙඩි උණ්ඩ  ඔහුගේ හිස  හරහා ගියේය. එසැනින්  තවත් කොටියකු කඩුවක් ගෙන රියැදුරාගේ ගෙල කැපුවේය. කුඩා සාමණේරවරු මරණ බියෙන්  කෑමෝර දුන්නේය.
ධූලි වලා නංවමින් දෙරණ දෙදරවමින් කුංචනාද කරමින් මාරාවේෂයෙන් නාලාගිරි ඇතු පැමිණෙද්දී සංසුන්ව බුදුන් වහන්සේ වැඩ හුන්නාක් මෙන් හෑගොඩ ඉන්ද්‍රසාර නායක හාමුදුරුවෝ කොටින්ගේ  තුවක්කු මැද අභීතව නැගී හුන්නෝය. කඩුවක් ගත් කොටියකු උන්වහන්සේගෙන් මනි මනි කියමින් සල්ලි ඉල්ලුවේය. ඒ සමග උන්වහන්සේ දෙසට එල්ල වූයේ වෙඩි වරුසාවකි. බසයේ ඊළඟට හුන්නේ වලල්ලාවිට විමලඥාන  හාමුදුරුවන්ය. හරියටම මීට විසි හය වසරකට ඉහත දී වූ ඒ බිහිසුණු සිද්ධිය උන්වහන්සේට අද මෙන් හොඳ හැටි මතකය.
 
කොටියෙක් මා ළඟට ඇවිත් මා මරා දමන්න කඩුව එසෙව්වා. ඒ වෙලාවේ කඩුව බසයේ වහලයේ වැදිලා වේගය අඩාල වේලා තමයි  මගේ දකුණු අතට වැදුණේ. කඩු පහරත් සමග මා බසයේ සීට් දෙක මැද්දට වැටුණා. ඊට පස්සේ මට මුකුත් පෙනුණේ නෑ. ‍පොඩි හාමුදුරුවරුන්ගේ විලාප හඬ ඇසුණා. කපා කොටා මරා දැමූ ‍පොඩි උන්නාන්සේලා දෙතුන් නමකගේ සිරුරු මගේ ඇඟ උඩට වැටුණා. කොටි එක දිගටම බසයට වෙඩි තැබුවා. පස්සේ  මම දැක්කේ බසය හිල්වෙලා තිබුණේ  පෙනේරයක් වගේ . ඒ වෙඩි ප්‍රහාරවලින් ජීවිතේ බේරුණේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. එක වෙඩි පහරක් ගිහින් තිබුණේ මගේ ඔළුව  උඩින්. වලල්ලාවිට විමලඥාන හාමුදුරුවෝ පවසති.
බසයේ සීට් දෙකට මැදි වී වැටී හුන් බැවින් උන්වහන්සේගේ ජීවිතය අනූනවයෙන් බේරුණේය. එනමුත් එවැනි වාසනාවක් අනෙකුත් හාමුදුරුවන්ට නොවීය. බියෙන් ගැහෙමින් හුන් පුංචි සාමණේරවරුන් කොටි සොය සොයා කැති ගෑහ. හිස් දෙපළු කළහ. මොළ එළියට පැන්නේය. සමහර හිමිවරුන්ගේ ගෙල කඳින් වෙන් වූහ. අත පය බඩ කැපී ගොස් මස් වැදලිි බවට පත් වූහ. බුදු පුතුන්ගේ කහ සිවුරු ලෙයින් පෙඟී ගොස් රක්ත වර්ණයට හැරවුණේය.  සතර වරිගයම සංසාර සාගරයෙන් එතෙර කිරීමට පාරමී පිරූ උන්වහන්සේගේ සිරුරුවලින් ගැලූ ලෙයින් බසය  නැහැවී ගියේය.
විනාඩි කීපයක් තුළ මේ මහා සංහාරය කළ  කොටියෝ වනයට වැදී නොපෙනී ගියහ. බසය ඇතුළේ  වේදනාවෙන් කෑමොර දෙන පුංචි  සාමණේරවරුන්ගේ හඬ  වලල්ලාවිට  විමලඥාන හාමුදුරුවන්ට  හොඳටම  ඇසුණේය.  විනාඩි  හතළිහක් පමණ ගෙවී ගියේය. බසය දෙසට තවත් වාහනයක් පැමිණෙන බව උන්වහන්සේට තේරුණේය.
මම හිතුවේ බසය පිටුපස්සෙන් ආපු අපේ වෑන් එකේ හිටපු කට්ටියත් මරන්න කැ‍ලේට ගෙනාවා කියලා. මම සද්ද නොකර හිටියා. බසයට ගොඩ වූ අයෙකු කෑ ගහනවා  ඇහුවා. මේ අපේ හාමුදුරුවරුන් එළියට ගන්න කියලා.  එතකොට මට තේරුණා අපේ උදව්වට හමුදාවෙන්  ඇවිත් ඉන්නවා කියලා. මම කෑගහනකොට  හමුදාවෙන් මාවත් ඔසවලා වඩා ගත්තා. අපේ බසය කැ‍ලේට  හරවන බව පිටුපස්සෙන් ආපු වෑන් එකේ අය දැක තිබෙනවා.  ඔවුන් තමයි හමුදා කඳවුරට ගිහින් මේ ආරංචිය කියලා සෙබළුන් රැගෙන ඇවිත් තියෙන්නේ. කඩු පාරෙන් මගේ දකුණත කැපී  මස් එළියට  පැන තිබුණත් මට  සිහි කල්පනාව තිබුණා. හමුදාව මාව අම්පාර රෝහලට ඇතුළු කළා. මේ ප්‍රහාරයෙන් බේරුණේ මා ඇතුළු භික්ෂූන් වහන්සේ අට නමක් පමණයි වලල්ලාවිට විමලඥාන  හාමුදුරුවෝ කීහ. රෝහල් ගතව හුන් මොහොතේ උන්වහන්සේට ආරංචි වූයේ කොටින්ගේ ප්‍රහාරයෙන් භික්ෂූන් වහන්සේ  තිස් එක් නමක් අපවත් වූ බවය. 
 
හෑගොඩ ඉන්ද්‍රසාර නායක හාමුදුරුවන් ඇතුළු උන්වහන්සේලාගේ ශ්‍රී දේහ තැන්පත් කෙරුනේ පෙරදා  සාමණේර වහන්සේ අකුුරු ඉගෙන ගත් විද්‍යානන්ද  පිරිවෙණේ  සකස් කළ විශේෂ මණ්ඩපයකය. වෙනදාට පේළි සැදී බණ දහම්  ඉගෙන ගත් දහම් ශාලාවේ උන්වහන්සේගේ ශ්‍රී දේහයන් එක පේළියකට තැන්පත් කර තිබුණි. ඒ සිරුරු දුටු සැදැහැවත්හු ‍පොළොව කම්පාවන තරම් මහ හඩින් හඬා වැළපුණහ.  ඒ මතකය සංවේදී මිනිසුන්ගේ දෑස් තවමත්  කඳුළින් තෙත්  කරයි. මුවගින් සුසුම් පිට කරයි.එක් දහස් නමසිය අසූ හතේ ජුනි පස්වැනිදා  උන්වහන්සේගේ ශ්‍රී දේහයන් අම්පාර නගර සභා පිටියේ  සැකසුණු විශේෂ චිතකයක තැන්පත් කෙරුණි. මුළු  ජාතියේම දෑස් කඳුළින් තෙත් වෙද්දී චිතකයට ගිනි දැල්වුණි. පැය කීපයක් පුරා උන්වහන්සේගේ ශ්‍රී දේහයන් දවමින් නැගුණු දුම් රොටු වාතලයට මුසු වී ගියේය. 
 
මාසයක් පුරා අම්පාර රෝහ‍ලේ ප්‍රතිකාර ලැබිමෙන් ඉක්බිතිව වලල්ලාවිට විමලඥාන හාමුදුරුවෝ  සිය ගමට වැඩ තුන් මාසයක් පුරා සිංහල වෙදකමින් ප්‍රතිකාර ගත්හ. මරා දැමූ ‍පොඩි හාමුදුරුවන්ගේ සිරුරු වැටුණේ මගේ ඇඟ උඩට. ඒ වෙලාවේ මට ‍ලේ පෙවුණා. ඒකට තමයි සිංහල බෙහෙත් බිවේ උන්වහන්සේ කීය. මේ ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමට තරම් වාසනාවන්ත වූ භික්ෂූන් වහන්සේ අටනම අතරින් තවමත් සසුනේ සිටින්නේ තුන් නමක් පමණි. ඉතිරි පස්නම සිවුරු හැරපියා ගියෝය. ඉතිරි වූයේ හඟුරන්කෙත පුඤ්ඤසාර, ආඳාඋල්පත බුද්ධසාර හා වලල්ලාවිට විමලඥාන යන හාමුදුරුවන්ය. මින් ආඳාඋල්පත බුද්ධසාර හාමුදුරුවෝ  සදාකාලිකවම එක්තැන්වීය. උන්වහන්සේගේ කොන්ද අප්‍රාණික බැවින්  සදාකාලිකවම ගමන් කරන්නේ රෝද පුටුවෙනි. වලල්ලාවිට විමලඥාන හාමුදුරුවන් දැන් වැඩ හිඳින්නේ පුත්තලමේ කල්පිටියේ බෞද්ධ මධ්‍යස්ථානයේය.

කාලය හරි පුදුමය. විසි හය වසරක් තුළ වූ වෙනස්කම් සිතා ගැනීමටත්  නොහැකිය. එදා අරන්තලාවේ  භික්ෂු ඝාතනයට නියෝග දුන් බවට චෝදනා එල්ල වූ කරුණා අම්මාන් මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙකි.

 
මිහිරි ෆොන්සේකා

0 comments:

Post a Comment