Jun 11, 2013

පළාත් සභා ක්‍රමය අවලංගු කළහොත් ඊළඟට සිදුවිය හැකි දේ ගැන ඔබ හිතුවද?

පළාත් සභා ක්‍රමය අවලංගු කළහොත්
ඊළඟට සිදුවිය හැකි දේ ගැන ඔබ හිතුවද?


පළාත් සභා ක්‍රමයට පදනම වැටුණු ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ මොහොත
පළාත් සභා පනත් අහෝසි කර උතුර නැගෙනහිරට කිසිම වරප්‍රසාදයක්‌ නොදී සිටීමට තීරණය කළහොත් එය අප රට විනාශයට මුලපිරීමකි. "මේ සිංහල අපේ රටයි" කියා බොහෝ දෙනා කියති, ලියති. එය සත්‍ය කතාවකි. මේ රට සිංහලයන්ගේ නම් එම රට රැක ගැනීමේ වගකීමද අප සතුය. රට රකිනවා කියන්නේ රටේ සිටින අන්‍ය ජාතිකයන් පන්නා දැමීම නොව කවුරුත් ආරක්‌ෂා කරගෙන සිටීමයි. මේ රටේ සිටින කුමන ජාතිකයෙකුම හොඳින් ආරක්‌ෂා කර ගැනීම සිංහල බෞද්ධයන්ගේ යුතුකමය. අපිත් සිංහලයන් සමඟ එක්‌වී මේ රට ගොඩනැගිය යුතුය යන හැඟීම ඔවුන් තුළ ද ඇති වන්නේ එවිටය. මෙහිදී අප ඉන්දියාව දෙස හැරී බලමු. ඉන්දියාවේ තරම් විවිධ ජාතීන් සිටින රටක්‌ මුළු ලෝකයේම නැත. එහෙත් ජාතික ආගමික ගැටීම් බොහෝ දුරට අඩුය. ඉන්දියාව සමහරවිට අපට කුඩුකේඩු කම් කළත් තම රටේ සිටින වෙනත් ජාතීන්ට හොඳින් සලකතියි මට සිතේ. 1947 දී ඉන්දියාවට ලැබුණේ එක්‌ කොටසකි. ඉංග්‍රීසීන් විසින් අනෙක්‌ කොටස පාකිස්‌තානය නමින් මුස්‌ලිම්වරුන්ට භාර දුන්හ. එවිට හින්දු මුස්‌ලිම් දෙකොටස අතර ඇතිවූයේ මහත් ගැටුමකි. එහෙත් ඉන්දියාවේ ප්‍රථම අගමැති වූ ජවහල්ලාර් නේරු ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්කළේ මුස්‌ලිම් ජාතිකයෙකි.

දැනට වසර 04 කට පෙර අපට මහත් බියක්‌ ඇතිවූයේ මෙම ත්‍රස්‌තවාදය නැති කළ හැකි වේද නැද්ද යන ප්‍රශ්නයයි. ජනාධිපතිතුමාගේ උපායශීලී බුද්ධියත්, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ වීරත්වයත් නිසා එම බිය දුරු කළ හැකි විය.

දැනට ඉදිරිපත් වී ඇති ප්‍රශ්නය නම් මීළඟට උතුර - නැගෙනහිරට දිය යුතු ස්‌වයං පාලන බලය කෙබඳු එකක්‌ විය යුතුද? යන්නයි. මෙහිදී සමහරු ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය. ජනාධිපති ක්‍රමය නිසා මේ හැම ගැටලුවක්‌ම ඇතිවී යෑයි කියති. පළමුවෙන්ම ඒ ගැන සිතා බැලීම හොඳ යෑයි මම සිතමි.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගත්තාට පසු අවුරුදු 30 ක පමණ කාලයක්‌ අගමැති ක්‍රමය යටතේ පාලනය විය. අවුරුදු 33 ක්‌ විධායක ජනාධිපති ධුරය යටතේ පාලනය වී ඇත. මේ කාලපරිච්ඡේද දෙක සස¹ බලන විට ජනාධිපති පාලනය නිසා සිදු වී ඇති වරද කුමක්‌ද? ඉතා සුළු ප්‍රශ්නයකට ගිහි පැවිදි දෙපක්‌ෂයම පාරට බැස උද්ඝෝෂණය කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වූ නිසාද?

එදා වතු කම්කරුවන්, වරාය කම්කරුවන් වැනි අය අතර පැවැති වැඩ වර්ජනය අද වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් ආදී උගත් අය අතරටත් පැතිර ගියේ ජනාධිපති ක්‍රමය නිසා ප්‍රජාතන්ත්‍රවාදය අඩුවීමෙන්ද? හැම ජනාධිපතිවරයෙකුම තමාගේ බලය සීමාව නොඉක්‌මවා තම පාලනය කරගෙන ගොස්‌ ඇත. ත්‍රස්‌තවාදීන් සමඟ සිදු කළ සටන ජයග්‍රහණය කිරීමේ හේතු අතර ජනාධිපතිවරයකු පාලකයා වීමද ප්‍රධාන සාධකයකි. ත්‍රිවිධ හමුදා නායකත්වයද ජනාධිපතිතුමාටම පැවරී තිබීම නිසා එය ප්‍රබල හේතුවක්‌ විය.

පාලනය පිළිබඳ ගැටලුවකට මැදි නොවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තමාගේ උපායශීලී බුද්ධියත්, කාර්යශූරත්වයත් නිසා විදේශ රටකට අත නොපා එම සටන ජය ගත්තේය.

කිසිම බලවතෙකුගේ සහයක්‌ නැතිව යුද්ධය ජය ගැනීම විශේෂත්වයකි. ඉන්දියාව, ඇමෙරිකාව ආදී රටවල් බලා සිටියේ ආධාර ඉල්ලන තුරුය. එසේ ආධාර ඉල්ලා ලබා ගත්තේ නම් නිසැකයෙන්ම ත්‍රිකුණාමලය වරාය ඔවුනට පූජා කිරීමට සිදු වෙයි. ඉන්දියාව හා ඇමෙරිකාව ත්‍රිකුණාමලය වරාය දෙස බලා සිටින්නේ කෙළ ගිලිමින්ය. මෙහිදී අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී උගත් කාර්යශූර නායකයෙකි. ඔහු අගමැති වුවත්, ජනාධිපති වුවත් අපට කම් නැත. ජනාධිපති ධුරය වෙනස්‌ කිරීම අප වෙත ඉදිරිපත් වී ඇති ප්‍රශ්න කෙසේවත් බලපාන්නේ නැත.

පළාත් සභා අවලංගු කිරීම

කෑමට අවශ්‍ය වූ විට කබරගොයත් තලගොයා වෙතියි යන ජනප්‍රවාදයක්‌ අප අතර තිබේ. පළාත් සභා ප්‍රශ්නයේදී සිදුවන්නට යන්නේ කෑමට එපා වූ විට තලගොයත්, කබරගොයෙකු වීමයි. පළාත් සභා ක්‍රමය ආරක්‌ෂා කර දැනට අවුරුදු 30 ක්‌ පමණ ගත වී ඇත. මෙතෙක්‌ කල් එය මැනවින් ක්‍රියාත්මක විය. පළාත් සභාව සුදු අලියෙකියි සමහරුන් කීවත් එයින් සිදුවූ සේවය නම් අප්‍රමාණය. පිටිසර ප්‍රදේශවල මං මාවත් තැනීම, පාලම්, බෝක්‌කු ආදිය සකස්‌ කිරීම, විදුලිය ලබා දීම ආදී කාර්යයන් මෙතරම් ඉක්‌මනට සාර්ථක වූයේ පළාත් සභා නිසා යෑයි පිටිසර ජීවත්වන භික්‌ෂුවක්‌ වශයෙන් මට හොඳ අත්දැකීමක්‌ ඇත. එසේ වුවද උතුරු නැගෙනහිර ප්‍රදේශවලට දේශපාලන විසඳුමක්‌ අවශ්‍ය වන විට ඒ සඳහාම ඇති කළ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු යෑයි වගකිවයුතු බොහෝ දෙනා කියති. එසේ කිරීමට එක්‌ සාධාරණ හේතුවක්‌ ඇත. පළාත් සභාවලට පොලිස්‌ බලතල හා ඉඩම් පරිහරණ බලයද අයත් වීමයි.

පළාත් සභා පනත සම්පූර්ණයෙන්ම නීති විරෝධි යෑයි උසස්‌ නීතිඥවරු පවා දැන් කියති. අවුරුදු රැසක්‌ම එය ක්‍රියාත්මක වෙද්දී කිසි කථාවක්‌ නැත. කෑමට පිසූ විට තල ගොයාද කබර ගොයෙක්‌ වේ යෑයි මා කියන්නේ ඒ නිසාය.

එසේ වුවද උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ස්‌වයං පාලන ක්‍රමයක්‌ දිය යුතු අවස්‌ථාවේදී ඒ සඳහාම සකස්‌ කළ පනතක්‌ අවලංගු කිරීම අතිශයින්ම අනතුරුදායකය. එයට හේතුව මෙම ප්‍රශ්නයට ඇඟිලි ගැසීමට ඉඩක්‌ නැතුව බලා සිටින ඇමෙරිකාව හා යුරෝපා සංගමයට හොඳ අවස්‌ථාවක්‌ ලැබීමය. එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය බිහි කරන ලද්දේ ලොකු කුඩා හැම රටකටම කරදරයක්‌ නැතිව ජීවත් වීමේ ඉඩකඩ සැලසීමටය. අධිරාජ්‍යවාදී ධනවත් ඇතැම් රටවල සුළු ජාතිකයන් මර්දනය කර ගැනීමේ අවශ්‍යතාව ඇති විය. ඒ අනුව මානව අහිතිවාසිකම් රැකීමේ සංවිධානයක්‌ එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය මගින් ඇති කරන ලදී. මානව අයිතිවාසිකම කඩකරන්නෝද ඇතැම් මහා ජාතීහුමය.

පළාත් සභා ක්‍රමය අහෝසි කළහොත් මානව අයිතිවාසිකම් උගුලට අපේ රටද හසුකර ගත හැකිය. ත්‍රස්‌තවාදය අවසන් කිරීමෙන් පසු සුළු ජාතීන්ගෙන් අයිතිවාසිකම් උදුරා ගත්තේ යෑයි චෝදනා කළ හැකිය. එසේ වුවහොත් ක්‍රොඒෂියාවට කළ දේම අපටත් සිදු කිරීමට ඉඩ ඇත.

ක්‍රොඒෂියාව යනු යුගොස්‌ලොවියාව අසල පිහිටි රටකි. ඒ රට තුළ ජාතීන්ගේද කෝලාහල ඇති විය. එහිදී යුරෝපා සංගමයේ අවශ්‍යතාව මත එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය විසින්ම එම රට දෙකට බෙදන ලද්දේය. එවැන්නක්‌ අපේ රටට සිදු කළහොත් මොකද වෙන්නේ?

පළාත් සභා පනත අවලංගු කළ හොත් තවත් ප්‍රශ්න කීපයක්‌ පැන නගියි. මේ පළාත් සභා පනත සකස්‌වී ඇත්තේ ඉන්දු ලංකා ගිවිසුමක්‌ අනුවය. පළාත් සභා පනත ඉවත් කළහොත් එම ගිවිසුමද අවලංගු කළ යුතුය. රටවල් දෙකක්‌ අතර පවත්නා ගිවිසුමක්‌ එක රටක කැමැත්ත අනුව අවලංගු කිරීම ප්‍රායෝගිකද? මේ සියල්ලටම වඩා ප්‍රශ්නය වනුයේ 13 වැනි සංශෝධනය මෙන් පළාත් සභා පනත අවලංගු කිරීමට අවශ්‍ය තුනෙන් දෙකේ ඡන්දය ලබා ගත හැකිද? යන්නයි. දැනට ජනාධිපතිතුමා තුනෙන් දෙකේ ඡන්දය සකස්‌ කරගෙන ඇතත් මේ ප්‍රශ්නයට ඒ සියල්ලම ලැබේවිද? යන්නත් ප්‍රශ්නයකි. පසුගිය අගවිනිසුරු දෝෂාභියෝග ඡන්දයේදී ආණ්‌ඩුව සමඟ ඡන්දය නොදුන් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්‌ තවම සැපසේ සිටිති.

කෙසේ හෝ වේවා පළාත් සභා පනත අහෝසි කළහොත් අප ඊළඟට ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කළ යුතුය. එසේ ක්‍රිsයා කිරීමේදී කසිකබල් දේශපාලනය ජාතිවාදය අමතක කර පත්තරේ නම දමා ගැනීමට රූපවාහිනියේ රුව පෙන්වා ගැනීමට ක්‍රියා නොකර බුද්ධිමත් ලෙස සිතා උතුරු නැගෙනහිර ජනතාවට ගැලපෙන ස්‌වයං පාලන ක්‍රමයක්‌ නිර්මාණය කිරීමට සහය දිය යුතුය. එම කෙටුම්පත් පනත් එක්‌සත් ජාතීන්ගේ අතටද පත්කළ යුතුය.

එසේ නැතිව පළාත් සභා පනත් අහෝසි කර උතුර නැගෙනහිරට කිසිම වරප්‍රසාදයක්‌ නොදී සිටීමට තීරණය කළහොත් එය අප රට විනාශයට මුලපිරීමකි. "මේ සිංහල අපේ රටයි" කියා බොහෝ දෙනා කියති, ලියති. එය සත්‍ය කතාවකි. මේ රට සිංහලයන්ගේ නම් එම රට රැක ගැනීමේ වගකීමද අප සතුය. රට රකිනවා කියන්නේ රටේ සිටින අන්‍ය ජාතිකයන් පන්නා දැමීම නොව කවුරුත් ආරක්‌ෂා කරගෙන සිටීමයි.

මේ රටේ සිටින කුමන ජාතිකයෙකුම හොඳින් ආරක්‌ෂා කර ගැනීම සිංහල බෞද්ධයන්ගේ යුතුකමය. අපිත් සිංහලයන් සමඟ එක්‌වී මේ රට ගොඩනැගිය යුතුය යන හැඟීම ඔවුන් තුළ ද ඇති වන්නේ එවිටය.

මෙහිදී අප ඉන්දියාව දෙස හැරී බලමු. ඉන්දියාවේ තරම් විවිධ ජාතීන් සිටින රටක්‌ මුළු ලෝකයේම නැත. එහෙත් ජාතික ආගමික ගැටීම් බොහෝ දුරට අඩුය. ඉන්දියාව සමහරවිට අපට කුඩුකේඩු කම් කළත් තම රටේ සිටින වෙනත් ජාතීන්ට හොඳින් සලකතියි මට සිතේ. 1947 දී ඉන්දියාවට ලැබුණේ එක්‌ කොටසකි. ඉංග්‍රීසීන් විසින් අනෙක්‌ කොටස පාකිස්‌තානය නමින් මුස්‌ලිම්වරුන්ට භාර දුන්හ. එවිට හින්දු මුස්‌ලිම් දෙකොටස අතර ඇතිවූයේ මහත් ගැටුමකි. එහෙත් ඉන්දියාවේ ප්‍රථම අගමැති වූ ජවහල්ලාර් නේරු ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්කළේ මුස්‌ලිම් ජාතිකයෙකි.

මෙතෙක්‌ ඉන්දියාවේ මුස්‌ලිම්වරු හතර දෙනෙක්‌ ජනාධිපති ධුරය දරා ඇත. ඉන්දියා ගාන්ධිගේ අභාවයෙන් පසු ඉන්දියා අගමැති ධුරයට පත් කරන ලද්දේ නරසිම්හ රාඕ නමැති අග්‍රා ජාතිකයෙකි. ඉන්දියාවේ ඉතාම පහත් කුලය ලෙස සලකන පංචම කුලයට අයත් නාරායන්ද ඉන්දියාවේ ජනාධිපති ධුරය දැරීය. මේ පත්වීම් අතර ඉතාම පුqදුමසහගත ලෙස අගමැති ධුරය ලබා ඇත්තේ වර්තමාන ඉන්දියා අගමැති මන් මෝහන් සිංය. ඔහු පන්ජාබ් ජාතිකයෙකි.

ඉන්දිරා ගාන්ධි අගමැති ධුරය දරන කාලයේදී පන්ජාබ්වරු නිදහස ඉල්ලා සටනක්‌ කළහ. ඉන්දිරා ගාන්ධි ඔවුන් මර්දනය කළාය. එහෙත් ඉන්දිරා ගාන්ධි පාන්ජාබ්වරුන්ගේ රන්දෙවොල ආක්‍රමණය කළාය යන චෝදනාව මත ඇයගේම ආරක්‌ෂක භටයන් වූ පන්ජාබ්වරු දෙදෙනෙක්‌ ඇයව වෙඩි තබා මරා දැමූහ.

රජීව් ගාන්ධිගේ මරණයෙන් පසු ඉන්දියා අගමැති ධුරය භාරදෙන ලද්දේ පන්ජාබ් ජාතිකයෙකු වූ මන් මෝහන් සිංටය. මේ කරුණු අනුව අපට සිතිය හැක්‌කේ යම් තනතුරකට පත් කිරීමට සුදුස්‌සා හමු වූ විට ඉන්දියාව ජාතිය, කුලය, ආගම ගැන නොසිතන බවය. මේ රටේ නම් යම්කිසි දෙමළ ජාතිකයකු හෝ මුස්‌ලිම් ජාතිකයකු මහා දිසාපති තනතුරට පත් කළොත් තත්ත්වය කොහොමද?

මා සිතන හැටියට පළාත් සභා පනත අවලංගු කළහොත් ඉන්දියාවද තදින් අමනාප විය හැකිය. ඒ නිසා පළාත් සභා පනත අවලංගු කිරීම තුන්කල් බලා සිදු කළ යුතු කාර්යයකි.

පළාත් සභා ක්‍රමය මුලින්ම අහෝසි නොකළ යුතු යයි මා කියන්නේ පළාත් සභා පනත ඉතා හොඳ යෑයි කීමට නොවේ. මේ අවස්‌ථාවේදී උතුරු නැගෙනහිරට ස්‌වයං පාලන ක්‍රමයක්‌ දිය යුතුව තිබියදී ඒ සඳහා තිබුණු එකම පනතත් අවලංගු කළේ යයි යුරෝපා සංගමයත්, ඇමරිකාවත් මේ රටට පහරදීම සඳහා හොඳ අවස්‌ථාවක්‌ කරන නිසාය. මා මුලදී සඳහන් කළාක්‌ මෙන් ක්‍රොඒසියාවට කළ දේ අපටත් කළ හැකි නිසාය. එවැනි තත්ත්වයක්‌ ඇතිවුවහොත් අපට කළ හැකි කිසිම දෙයක්‌ නැත. ඉන්දියාව හැදූ පනත නැති කළ නිසා ඉන්දියාවද තදින් කිපීමය. එයින් වන්නේ තවත් බලවත් ජාතියක්‌ අප සමඟ විරුද්ධ වීමය.


රාජකීය පණ්‌ඩිත ත්‍රිපිටක විශාරද
ගොම්බද්දල නන්දාරාම
ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිගරු මහානායක මාහිමි

2 comments:

  1. ewunata machoo police balathala karume ta hari giuyoth muslim un gawata baduma thamai lanka wataa

    ReplyDelete
    Replies
    1. මා සිතන හැටියට පළාත් සභා පනත අවලංගු කළහොත් ඉන්දියාවද තදින් අමනාප විය හැකිය. ඒ නිසා පළාත් සභා පනත අවලංගු කිරීම තුන්කල් බලා සිදු කළ යුතු කාර්යයකි.

      පළාත් සභා ක්‍රමය මුලින්ම අහෝසි නොකළ යුතු යයි මා කියන්නේ පළාත් සභා පනත ඉතා හොඳ යෑයි කීමට නොවේ. මේ අවස්‌ථාවේදී උතුරු නැගෙනහිරට ස්‌වයං පාලන ක්‍රමයක්‌ දිය යුතුව තිබියදී ඒ සඳහා තිබුණු එකම පනතත් අවලංගු කළේ යයි යුරෝපා සංගමයත්, ඇමරිකාවත් මේ රටට පහරදීම සඳහා හොඳ අවස්‌ථාවක්‌ කරන නිසාය. මා මුලදී සඳහන් කළාක්‌ මෙන් ක්‍රොඒසියාවට කළ දේ අපටත් කළ හැකි නිසාය. එවැනි තත්ත්වයක්‌ ඇතිවුවහොත් අපට කළ හැකි කිසිම දෙයක්‌ නැත. ඉන්දියාව හැදූ පනත නැති කළ නිසා ඉන්දියාවද තදින් කිපීමය. එයින් වන්නේ තවත් බලවත් ජාතියක්‌ අප සමඟ විරුද්ධ වීමය.

      Delete