Jun 24, 2013

ඇෆ්ගනිස්ථානයට මර උගුලක් වූ බෝම්බ භීතිකාව

3-1
ගෙවුණු වසර තුළ ඇෆ්ගනිස්ථානයේ දහස් ගණනක් මරු තුරුලට ගියේ මහා මාර්ග ආසන්නයේ අටවා තිබූ බෝම්බ හේතුවෙනි. මෙය ඇෆ්ගනිස්ථානයට කොතරම් හිසරදයක් වීද කිවහොත් මහා මාර්ග බෝම්බ භීතිකාවක් රට පුරා වේ. තවමත් මින් සිදුවන මිනිස් සංහාරයේ හා දේපළ විනාශයේ ඉහළ යාමක් මිස අඩුවක් නම් දක්නට නොවේ. ඒ නිසාම ඇෆ්ගනිස්ථාන ආර්ථිකයේ හුස්ම බෙල්ල මුලටම හිර කිරීමට තරම් මෙය ප්‍රබලව තිබේ. මහා මාර්ග බෝම්බ නිසා ඇෆ්ගනිස්ථානය තුළ මිය ගොස් ඇති ගණන මෙපමණකැයි නිශ්චිතවම කිව හැකි නොවේ.

3-2
එහෙත් ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන ආකාරයට එරට ‍පොලිස් නිලධාරින්ගෙන් වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ මහා මාර්ග බෝම්බ හේතුවෙනි. එය එක් දහස් අටසියයක් පමණ වන බවට ඔවුන් ගණන් බලා තිබේ. ඊට අමතරව ඇෆ්ගනිස්ථාන හමුදා සෙබළුන් නවසියයකගේ පමණ ජීවිත මීට ගොදුරුව තිබේ. මෙහිදී දිනකට හමුදා සෙබළුන් තිදෙනෙකු පමණ මිය යන බව ආරක්ෂක අමාත්‍යංශය කියයි. පසුගිය වසර දෙකක කාලය පුරා සටන්කාමීන් අවධානය යොමු කර තිබුණේ මහා මාර්ගවල බෝම්බ ඇටවීම කෙරෙහි වන බව පැහැදිලිව පෙනෙන්නකි. මේ ප්‍රහාර සඳහා යොදා ගන්නේ ක්ෂණිකව සෑදූ පුපුරණ ද්‍රව්‍යයි. ඒ අනුව සටන්කාමීන්ගේ නව ප්‍රවණතාව වී ඇත්තේ ඇෆ්ගනිස්ථාන හා නේටෝ හමුදාව සමග මුහුණට මුහුණ ලා සටන් කරා නොගොස් මහා මාර්ගය තුළ බෝම්බ ඇටවීමයි. මෙම බෝම්බ සඳහා වඩා ප්‍රබල හා විනාශකාරී ලෙස ප්ලාස්ටික් පුපුරණ ද්‍රව්‍ය හා 3-3ලෝහමය අමුද්‍රව්‍ය යොදා ගන්නා බව කිය වේ. එවන් විනාශකාරී බෝම්බ නිපදවීම කෙරෙහි  හසල දැනුමක් ඇති ඇෆ්ගනිස්ථාන සටන්කාමීන්ගේ ප්‍රමාණයද මේ වෙද්දී ඉහළ නැග තිබේ. එහෙත් බෝම්බ නිපදවීමේ හා ඒවා ස්ථානගත කිරීමේ කාර්ය පැවරෙන්නේ රැකියා විරහිත තරුණ පිරිස් වෙතයි.සෑම ප්‍රහාරයකටම මිලක් නියම වීම ඊට හේතුවයි. ‍පොලිස් නිලධාරියෙක් වේවා දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයෙක් වේවා ඒ ඕනෑම කෙනෙක් ඉලක්ක කර ප්‍රහාරයක් සැලසුම් කිරීම වෙනුවෙන් නිශ්චිත මිලක් වේ. පාකිස්තාන කර්මාන්ත ශාලා හරහා ඇෆ්ගනිස්ථානය වෙත මෙම බෝම්බ නිපදවීමේ සිද්ධාන්තය පැමිණ ඇති බව කිය වේ. ඉතා බලවත් ලෙස නිර්මාණය කර ඇති එම බෝම්බවල නිපැයුම අනාවරණය කර ගැනීමද අපහසු වේ. 

වරක් ඇෆ්ගනිස්ථාන ‍පොලීසිය විසින් එරට පන්ජ්වායි දිස්ත්‍රික්කයෙන් මහා මාර්ග බෝම්බ දහසකට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබූ අතර එවන් බෝම්බ තවත් දහස් ගණනක් එහි ඇති බවට තොරතුරු වේ. දිනපතාම පාහේ ඇෆ්ගනිස්ථාන හමුදාවේ අවධානය යොමුව ඇත්තේ සඟවා ඇති බෝම්බ සෙවීම හා ඒවා නිෂ්ක්‍රීය කිරීම කෙරෙහියි. පාලමක් යට හෝ වෙනත් මොනයම් හෝ ස්ථානයක අටවා ඇති බෝම්බයක් පිළිබඳ ඔත්තුවක් ගම්වාසීන්ගෙන් ලැබිම අමුතු දෙයක් නොවේ. කොහොමටත් ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන්ගේ ප්‍රධානතම ඝාතකයා වී ඇත්තේ මේ මහා මාර්ග බෝම්බයි. පසුගිය කාලය තුළ පවුල් පිටින් ගමන් ගත් වාහන මේ රුදුරු බෝම්බවල ගොදුරු බවට පත් වූයේ පිරිමින් මෙන්ම කාන්තාවන් හා කුඩා දරුවන්ද බිලි ගනිමිනි. විවාහ උත්සව, විනෝද චාරිකා හා අවමංගල්‍ය අවස්ථාවලට ගිය පිරිස් ඒ අතර වූහ.
මේ බෝම්බ පිපිරවීම් හරහා ජනතාවගේ ගමනා ගමන කටයුතු අඩාල කිරීමත් ඔවුන්ට ලබාදෙන සේවාවන් නැවැත්වීමත් සටන්කාමීන්ගේ අදහසයි. අනෙක් පසින් රටේ සංවර්ධන කටයුතුද මේ නිසා ඇණ හිටියි. එසේම මේ බෝම්බ භීතිකාව ළමුන් පාසල් කරා යාම ද වළක්වා තිබේ. ඇෆ්ගනිස්ථාන හමුදාව විසින් මෙහෙයුම් සිදු කරන ප්‍රදේශ තුළ බෝම්බ ඇටවීම සටන්කාමීන්ගේ උපක්‍රමයක් වී තිබේ. මේ සියල්ලෙන් ඔවුන් බලා‍පොරොත්තු වන්නේ ඇෆ්ගනිස්ථාන රජයට දැනෙන්නට යමක් කිරීමයි. රජයට දැනීම කෙසේ වුවද අහිංසක වැසියන්ට නම් බෝම්බයේ තරම හොඳින්ම දැනේ. ඇෆ්ගනිස්ථාන යුද්ධයේ මාරාන්තික අවිය වී ඇත්තේ මේ මහා මාර්ග තුළ පුපුරුවා හරින කුරිරු බෝම්බයයි. එන්න එන්නම එහි ව්‍යාප්තිය වැඩි වනවා මිස එය මර්දනය කළ හැකි මගක් නොවේ. එහෙත් අහිංසක ඇෆ්ගනිස්ථානුවන්ගේ හෙට දවස යහපත් කරවීමට නම්  හතු පිපෙන්නා සේ ඇවිළී යන මේ බෝම්බ ගිනි දැල් නිවාලිය යුතුම වේ.

0 comments:

Post a Comment